𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු. ට්‍රිලියන 5ට ආසන්න වෙයි

විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, 2025 වසර අවසානයේ දී අරමුදලෙහි ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,942.9ක් ලෙස වාර්තා වූ අතර, එය 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 4,375.7ට සාපේක්ෂව 13.0%ක වැඩි වීමකි. ඊට සමගාමීව, මෙම කාලසීමාව තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම්වල වටිනාකම ද 13.1%කින් වැඩි විය. 2025 වසර සඳහා මුළු සාමාජික දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 270.8ක් දක්වා 15.6%කින් වැඩි වූ අතර, සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන් හට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 176.0ක් දක්වා 6.4%කින් අඩු විය. ඒ අනුව, අරමුදලේ ශුද්ධ සාමාජික දායකත්වය, 2024 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 46.3 සිට 2025 වසරේ දී රුපියල් බිලියන 94.8ක් දක්වා වර්ධනය විය.

2025 වසරේ දී සමස්ත අරමුදලේ ආයෝජන ආදායම රුපියල් බිලියන 552.7ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 513.8 හා සැසඳීමේ දී 7.6%ක වර්ධනයකි. පොලී ආදායම අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස අඛණ්ඩව පැවති අතර, එය 2024 වසරේ දී උපයන ලද රුපියල් බිලියන 455.1ට සාපේක්ෂව 2025 වසරේ දී රුපියල් බිලියන 506.9ක් දක්වා 11.4%කින් වර්ධනය විය. කොළඹ කොටස් හුවමාරුවෙහි (Colombo Stock Exchange) දක්නට ලැබුණු සැලකිය යුතු කාර්යසාධනය හේතුවෙන් වෙළඳපොළ මිල ගණන් (Fair Value) මත ගණනය කරන ලද ශුද්ධ ලාභ ඉහළ යෑම සහ ඉහළ ලාභාංශ ආදායම්, ආයෝජන ආදායමේ වර්ධනයට දායකත්වයක් දක්වන ලදී. අරමුදලෙහි දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය 2025 වසරේ දී 0.6%ක මට්ටමක පවත්වගෙන යන ලදී. ආයෝජන ආදායම වැඩි වීම හේතුවෙන් 2025 වසරේ දී අරමුදලෙහි බදු වියදම ද රුපියල් බිලියන 69.5ක් දක්වා වැඩි විය. 2025 වසර සඳහා සාමාජික ශේෂයන් මත 10.75%ක පොලී අනුපාතයක් ලබා දීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමැතිය පළ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙහි මේ බව සඳහන් වේ.

උපුටා ගැනීම : අද දෙරණ