වඩාත් පුළුල් විදේශ විනිමය වෙළඳපොළක් ප්රවර්වධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන මූලිකත්වයට අනුකූලව, ශ්‍රී ලංකා විදේශ විනිමය වෙළඳපොළ සාර්ථක ලෙස විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාවක් එළිදක්වා ඇත. දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණ හැකියාව වැඩි දියුණු කිරීම සහ එහි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෙම වේදිකාව වෙත ප්‍රවේශ වීමට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ඇත. ඒ අනුව, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ විසින් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනයේ BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව තෝරා ගෙන ඇත.
වර්තමානයේ දී BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව මගින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ සඳහා, එ.ජ. ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් සිදුකරන එතැන් විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සපයන අතර, මෙ මගින් වෙළඳපොළ සහභාගිවන්නන්ට මධ්‍යම සීමිත ඇණවුම් පද්ධතියක් තුළ නිර්නාමික ආකාරයට ඇණවුම් සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම ගැලපුම් වේදිකාව මගින් ගනුදෙනුව සිදු කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය මිල විනිවිදභාවය, ගනුදෙනුව සිදුකිරීම, සහ ගනුදෙනුවට පසු එයට අදාළ තොරතුරු හුවමාරු කිරීම හා පියවීම ආදී අනෙකුත් කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම යන විදේශ විනිමය ගනුදෙනුවක සියලුම අදියර සඳහා පහසුකම් සැලසේ. මෙම පද්ධතියට ඇතුළත් කරනු ලබන තත්කාලීන ව ක්‍රියාත්මක කළ හැකි ඇණවුම් මගින්, වෙළඳපොළ සහභාගිවන්නන්ට වඩා දැනුවත් තීරණ ගැනීමට ඉඩ සැලසෙන අතර, එය වෙළඳපොළෙහි මිල අනාවරණයට ඇති හැකියාව වැඩි දියුණු කරනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවට සිය අධීක්ෂණ කාර්යයන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ද BMatch විදේශ විනිමය ගනුදෙනු ගැලපුම් වේදිකාව හරහා සපයා ඇත.
තවද, අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළෙහි මිල අනාවරණය කර ගැනීමේ හැකියාව වැඩි දියුණු වීම වෙළඳපොළ තත්ත්ව වඩාත් හොඳින් නිරූපණය කරන තරගකාරී මිල ගණන් අනාවරණය කර ගැනීමට උපකාරී වනු ඇති අතර, එමගින් වඩා ඉහළ තොරතුරු ලබා දීම ඔස්සේ වෙළඳපොළ සහභාගිවන්නන්ට වඩාත් දැනුවත් තීරණ ගැනීමට සහ තරගකාරී මිලකරණයෙන් ප්රතිලාභ ලබා ගැනීමට හැකිවනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ ප්‍රවර්ධනය සඳහා කැප වී ක්‍රියා කරන අතර, දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි විනිවිදභාවය සහ පුළුල්බව වැඩි දියුණු කිරීම සඳහා මෙම නව හඳුන්වාදීම ප්රමුඛ කාර්යයභාරයක් ඉටු කරනු ඇතැ’යි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
උපුට ගත්තකි.