“2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය ඉහළ ගියද ගෙවුණු මාස 9 තුළ සිදු වූ පහළ බැසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි” – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය
2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන නැවතත් වර්ධනීය තත්වයක් අත්පත් කරගෙන ඇති බවත් එය ක්ෂේත්රයේ ඉදිරි දියුණුව සඳහා ඉතා වැදගත් වන බවත් ශ්රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස නවයේ සමස්ත ආදායම පසුගිය වසරට වඩා අඩු වී ඇති බවත්, ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්ය.
පසුගිය සැප්තැම්බර් මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 416.99ක් වූ අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 403.01ක ආදායමට වඩා 3.47%ක වර්ධනයකි. මෙම වර්ධනයට ප්රධාන වශයෙන්ම දායක වූයේ මෙරට ඇඟලුම් සඳහා වන විශාලතම වෙළෙඳපොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයයි. ඒ අනුව පසුගිය මාසය තුල ඇමෙරිකාවට සිදුකළ අපනයන 7.17%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 172.03ක් වූ අතර, යුරෝපා සංගමයට (එක්සත් රාජධානිය හැර) සිදුකළ අපනයන 6.5%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 132.46ක් බවට පත්ව තිබිණ.
ගෙවුණු මාස 9ක කාලය තුල මෙරට ඇඟලුම් අපනයනයේ විවිධ වෙනස්කම් දැකගත හැකි වූ අතර එහිදී එක්සත් රාජධානිය වෙත සිදුකළ අපනයන 5.92%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් මිලියන 47.33ක් වූ අතර, අනෙකුත් රටවල් වෙත සිදුකළ අපනයනද 3.89%කින් අඩුවී ඩොලර් මිලියන 65.17ක් බවට පත්විය.
සමස්ත සංඛ්යාලේඛන දෙස බැලීමේදී දැකිය හැකි තත්වය එතරම් සුභදායී නැත. 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සමස්ත ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,588.46ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේ ලැබූ ඩොලර් මිලියන 3,798.25ක ආදායමට වඩා 5.52%ක පහත වැටීමකි. එය දළ වශයෙන් ඩොලර් මිලියන 210ක අඩුවීමකි. එහෙයින් එක් මාසයක ලැබූ ඉහළ වර්ධනයක් සතුටින් භාරගත හැකි වුවද, එයින් මෙතරම් විශාල පරතරයක් පියවිය නොහැකි බව අවබෝධ කර ගැනීම වැදගත් වේ.
මේ වසරේ මුල් මාස 9 තුළ සියලුම ප්රධාන වෙළෙඳපොළවල් හරහා මෙම අපනයන පහත වැටීම දැකගත හැකි විය. ඒ අනුව වඩාත්ම දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළේ එක්සත් රාජධානිය වන අතර එය 10.85%ක අඩුවීමකි. ඉන්පසුව යුරෝපා සංගමය 5.44%කින්ද, අනෙකුත් වෙළෙඳපොළවල් 5.43%කින්ද පහත වැටුණු අතර ප්රධාන වෙළෙඳපොළවල් අතරින් අවම අඩුවීමක් වාර්තා කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත සිදුකළ අපනයන පහත 3.69%කින් පහත වැටී තිබිණ.
ප්රධාන රටවල සිදුවන වෙළෙඳ ප්රවාහයන්ගේ වෙනස්වීම්ද මෙම ලෝක ඇඟලුම් ක්ෂේත්රයේ සමස්ත තත්ත්වයට බලපානු ලබයි. ඇමෙරිකානු ආනයන දත්තවලට අනුව, 2026 වසරේ මුල් මාස හත තුළ ඇමරිකාවට සිදුකළ චීන ඇඟලුම් අපනයන ප්රමාණය 34%කින් පමණ පහත වැටී ඇත. අපනයන ක්ෂේත්රයේ තරඟකාරී රටවල නියෝජිතයින් පවසන්නේ, ඇමෙරිකාව විසින් පැනවූ ඉහළ බදු හේතුවෙන් චීනය සහ ඉන්දියාව දැන් යුරෝපා වෙළෙඳපොළ දෙසට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. මේ නිසා යුරෝපා වෙළෙඳපොළ තුළ මිල ගණන් සම්බන්ධයෙන් විශාල තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇත. 2026 ජනවාරි සහ අප්රේල් අතර කාලය තුළ යාමටද මෙය හේතුවක් වන්නට ඇත මෙයින් පෙනී යන්නේ, ලෝකයේ ඇඟලුම් ඉල්ලුම අඩු වී ඇති මෙවැනි කාලයක වුවද යුරෝපා වෙළෙඳපොළ ඉතා කාර්යබහුල වී ඇති බවයි. එබැවින් ශ්රී ලංකාව සිය මිල ගණන්වල තරඟකාරීත්වය, විශ්වාසනීයත්වය සහ විවිධත්වයෙන් යුත් නිෂ්පාදන සිදුකිරීමේ වැදගත්කම මෙයින් මනාව පැහැදිලි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “ඇමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ සැප්තැම්බර් මාසයේ වර්ධනය කර්මාන්තයේ වර්ධනයට විශාල අස්වැසිල්ලක් ලෙස සැලකිය හැකියි. ලෝක වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතින අවස්ථාවලදී අපේ නිෂ්පාදකයන්ට හොඳ තරඟයක් දිය හැකි බව මෙයින් ප්රදර්ශනය වනවා. කෙසේ වුවද පසුගිය වසරේ මේ කාලයට සාපේක්ෂව අප තවමත් 5%කට වඩා පසුපසින් සිටින බැවින් මෙම සුබවාදී ප්රවණතාවය එක මාසයකට පමණක් සීමා නොවී දිගටම පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපේ ඇඟලුම් කර්මාන්තයට ස්ථාවර මෙන්ම සාධාරණ මිලකට ලබාගත හැකි බලශක්තිය සහ රජයෙන් ලැබෙන සහයෝගී ප්රතිපත්තිමය වටපිටාවක් අවශ්ය වනවා” යනුවෙනි.
ඇමරිකාව සහ යුරෝපා සංගමය යන වෙළෙඳපොළවල් දෙකෙහිම සිදුවූ වර්ධනය හේතුවෙන්, සැප්තැම්බර් මාසය සාර්ථක කර ගැනීමට හැකි වූ බව JAAF හි අදහසයි. කෙසේ වුවද මෙය කර්මාන්තය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමක් ලෙස තවමත් සැලකිය නොහැවි අතර මෙම සාර්ථක ප්රවණතාවය වසරේ ඉතිරි මාස කිහිපය තුළදීත් එක ලෙස ඉදිරියට ගමන් කරන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද JAAF පෙන්වා දෙයි. බි්රතාන්යය වැනි කඩා වැටුණු වෙළෙඳපොළ නැවත යථා තත්ත්වයට පත් වනු ඇතැයි යන්න පිළිබඳවද ඇඟලුම් ක්ෂේත්රයේ නියැලෙන්නන්ගේ අවධානය යොමු විය යුතු බවද JAAF තව දුරටත් පෙන්වා දෙයි.
අද දෙරණ




