𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සුමති හෝල්ඩිංග්ස් 70 වසරක අභිමානවත් උරුමය සමරයි

සුමති හෝල්ඩිංග්ස් සමාගම සිය 70 වන අභිමානවත් සංවත්සරය පසුගියදා කොළඹ, ITC රත්නදීප හෝටල් ‘සංගම් Ballroom’ ශාලා පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ලංකාවේ ව්‍යාපාරික, රාජ්‍ය, මුල්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආරාධිතයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. “70 වසරක අභිමානවත් සුමති උරුමය” යන තේමාව යටතේ පැවැති මෙම සංවත්සර උත්සවයේ දී, 1956 වසරේ මෙහි නිර්මාතෘ වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා විසින් පිටකොටුවේ මැලිබන් වීදියේ Sporting Star ලෙස පළමු Betting ආයතනය ආරම්භ කරමින් තැබූ මුල් පියවර පිළිබඳව මතකය ආවර්ජනය කරන ලදී. තවද, අද වන විට ප්‍රධාන ව්‍යාපාර 11 ක් සහ 2,000 කට අධික කාර්ය මණ්ඩලයක් දක්වා “සුමති හෝල්ඩිංග්ස් සමාගම” ලෙස වර්ධනය වී ඇති දැවැන්ත ව්‍යාපාර සමූහයේ ගමන් මඟ පිළිබඳව ද වඩාත් සිහිපත් කරන ලදී.

එමෙන්ම, ගාලු මුවදොර අහස අලංකාර කළ ඩ්‍රෝන සංදර්ශනයකින් සහ ගිනිකෙළි සංදර්ශනයකින් ආරම්භ වූ මෙම අවස්ථාවට සභාපතිවරයාගේ අභිමන් කථාව, ප්‍රධාන ආරාධිතයන් වෙනුවෙන් කළ උපහාරය, 70 වන සංවත්සර නිල ලාංඡනය එළිදැක්වීම සහ අධ්‍යක්ෂකවරුන් වන චදු සුමතිපාල සහ චථුල සුමතිපාල යන මහත්වරුන්ගේ අදහස් දැක්වීම් යන විශේෂාංග ඇතුළත් විය. මීට අමතරව, සජීවී වාද්‍ය වෘන්දයක් සමඟින් උමාරා සිංහවංශ, සෞන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ සහ නදීක ගුරුගේ යන ගායක ගායිකාවන්ගේ ප්‍රාසාංගික සංගීතමය ඉදිරිපත් කිරීම්වලින් ද  උත්සව සන්ධ්‍යාව වර්ණවත් විය.

යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා ආරම්භ කල ගමනින් Sporting Star ආයතනය මෙරට ඔට්ටු තැබීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් කරමින්, වෙළෙඳපොළේ සිය නායකත්වය තහවුරු කළේය. එමෙන්ම සිංහල සිනමා කර්මාන්තයේ වර්ධනයට උපකාරී වෙමින් සිනමා ක්ෂේත්‍රයට පා තැබුවේය. එසේම, මැණික් ක්ෂේත්‍රයට ද පිවිසෙමින් මිලාන්හි පැවැති ලෝක මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී එම ව්‍යාපාරය නියෝජනය කිරීමට සමත් විය. ඔහුගේ ව්‍යාපාරික ගමනේ මූලික පදනම වූ “අවංකත්වය සහ නිවැරදිභාවය” යන වටිනාකම් අදටත් සමූහ ව්‍යාපාරයට මඟපෙන්වන මූලධර්ම ලෙස පවතී. 1979 දී යු. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ අභාවයෙන් පසු, 19 හැවිරිදි වියේ පසුවූ ජගත් සුමතිපාල මහතා ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර මෙහෙයුම් කටයුතුවලදී ඔහුට මඟපෙන්වූයේ ඔහුගේ මාමා වූ ධර්මසිරි මහතාය. ජගත් සුමතිපාල මහතාගේ පළමු කාර්යය වූයේ සමූහයටම අනන්‍ය වූ Race Paper (‍තුරඟ තරග පුවත්පත) ක් නිර්මාණය කර එය වාණිජ මුද්‍රණ සමාගමක් බවට පත්කිරීමයි. පසුව, 1986 වසරේදී සිය අධ්‍යාපන කටයුතු අවසන් කර තිලංග සුමතිපාල මහතා යළි පැමිණීමෙන් අනතුරුව, ජගත් සුමතිපාල මහතා එම මුද්‍රණ සමාගමේ මෙහෙයුම් ඔහු වෙත භාර දුන් අතර තිලංග සුමතිපාල මහතා එය තවදුරටත් වර්ධනය කළේය. අනතුරුව ජගත් සුමතිපාල මහතා මැලිබන් වීදියේ තිබූ ප්‍රධාන ශාඛාව චැතම් වීදියට ගෙන ගොස් එහි අභිවෘද්ධිය උදෙසා කටයුතු කළේය.

1987 දී ජගත් සුමතිපාල මහතා සජීවී විකාශන සහිත ප්‍රථම Race by Race (තුරඟ තරග) ශාඛාව ආරම්භ කළේය. මෙය තවදුරටත් වර්ධනය කරමින්, 1992 වන විට සමූහ ව්‍යාපාරය ද සජීවී තරග විකාශය ආරම්භ කළ අතර, 1998 වන විට සියලුම ශාඛා හරහා සජීවීව තරග නැරඹීමේ පහසුකම් සලසා දී ඇත. අද වන විට Sporting Star ආයතනය දිවයින පුරා ශාඛා 200 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර, 2019 දී ‘BetSS.com’ නමින් ඔන්ලයින් අවකාශයටද පිවිසියේය.

එසේම, මිලිනා සුමතිපාල මහත්මියගේ සමාජ මෙහෙවර ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගියේය. ඇය නිෂ්පාදනය කළ ‘ගඟ අද්දර’ (1980) චිත්‍රපටයේ සමස්ත ලාභය කොළඹ මහ රෝහලේ (වත්මන් ජාතික රෝහල) ස්නායු ශල්‍යකර්ම ඒකකයක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කළාය. 1981 දී ආරම්භ කළ ලේ දන්දීමේ වැඩසටහන් සහ මහරගම පිළිකා රෝහලට පහසුකම් සැලසීමේ ව්‍යාපෘති හරහා මේ වන විට රුධිර පයින්ට් 20,000 කට වඩා පරිත්‍යාග කර ඇත. එමෙන්ම 2001 දී ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සභාපතිනිය බවට ද පත්වූවාය.

2017 වසරේ සිදුකළ ප්‍රතිසංවිධානයෙන් පසුව, ජගත් සුමතිපාල මහතා තෙවන පරම්පරාව හා එක්ව සුමති හෝල්ඩිංග්ස් ආයතනය Betting, සෞඛ්‍ය සංරක්ෂණය, තොරතුරු තාක්ෂණය, ආපනශාලා, ආරක්ෂක සේවා, මුද්‍රණ, පුනර්ජනනීය බලශක්තිය, ආයෝජන සහ සිනමා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධාන ව්‍යාපාර 11 ක් සහ 2,000 කට අධික සේවක පිරිසක් සහිත දැවැන්ත සමූහයක් බවට පත්කර ඇත.

වර්තමාන සමූහ ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් ආරම්භ වූයේ Sporting Star ආයතනයේ අවශ්‍යතාවලට පිළියම් ලෙසය. එහි ශාඛාවල ආරක්ෂාව සඳහා ‘Lokx Security Services’, රේස් පත්‍රිකා මුද්‍රණය සඳහා ‘InPrint Solutions’ සහ ඔට්ටු ඇල්ලීමේ පද්ධති පිටුපස ඇති තාක්ෂණය සඳහා ‘Mainframe’ ආයතනය බිහිවිය.

සුමති සමූහයට අයත් ආයතන තුනක් මෙම වසරේ විශේෂ ඇගයීමට ලක්වෙයි. එනම්, කොළඹ ජනතාවට ප්‍රණීත චීන ආහාර ලබාදීමේ අරමුණින් 1991 දී චැතම් වීදියේදී ජගත් සුමතිපාල මහතා විසින් මෙය ආරම්භ කරන ලද ග්‍රේට් වෝල් ආපනශාලා ජාලයට වසර 35 ක් සැපිරෙයි. එසේම, ශ්‍රී ලංකාව පුරා ජාල යටිතල පහසුකම්, දත්ත සන්නිවේදනය සහ භූ-අවකාශීය ඉංජිනේරු විද්‍යාත්මක සේවාවන් සපයන, තවද DJI සමාගමේ ව්‍යාපාරික ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සුමති IT ආයතනයට වසර 25 ක් සැපිරෙයි. එමෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බෙදාහැරීම් සමාගමක් වන, වසර විස්සක සිට ඖෂධ ස්‍රාවය කරන ස්ටෙන්ට් (drug-eluting stent) වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන, 2025 දී පිළිකා මර්දන ඖෂධ අංශයක්ද ආරම්භ කළ ලයිෆ්සර්ව් ආයතනයට වසර 25 ක් සැපිරෙයි.

තවද, වර්තමානයේ සභාපතිතුමාට අමතරව තෙවන පරම්පරාවද සමූහයේ නායකත්වය හොබවයි. චදු සුමතිපාල මහතා IT අංශයට නායකත්වය දෙමින් ‘Mainframe’ ආයතනය පිහිටුවීම, BetSS.com නිර්මාණය කිරීම, ඩ්‍රෝන අංශය සහ ප්‍රථම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. එසේම, චථුල සුමතිපාල මහතා ලයිෆ්සර්ව් ආයතනයට නායකත්වය දෙමින් ‘Sumathi Energy’ බිහි කළ අතර, මොණරාගල සහ වේවිල 5MW සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ බැටරි ගබඩා ව්‍යාපෘතිය ද ආරම්භ කර ඇත.

මෙම සැමරුම් උත්සව ව්‍යාපාරය පිටුපස සිටින සේවක පිරිස වෙතද ළඟා විය. ඔක්තෝබර් 08 වන දින Sporting Star ප්‍රධාන කාර්යාලයේදී වසර 10 කට වැඩි සේවා කාලයක් සහිත සේවකයින් 200 කට වැඩි පිරිසකට දීර්ඝ සේවා සම්මාන පිරිනැමුණි. ඉන් 31 දෙනෙකුම වසර 30 කට වැඩි කාලයක් සේවය කළ පුද්ගලයින් වීම විශේෂත්වයකි. අනුරාධපුරයේ ආර්. වී. ඥානසේන මහතා වසර 40 ක දීර්ඝතම සේවා කාලයකට හිමිකම් කියමින් සුවිශේෂිතම සම්මානය දිනා ගත්තේය. ඔක්තෝබර් 10 වන දින දිවයින පුරා පිහිටි Sporting Star ශාඛාවල දී ග්‍රේට් වෝල් ආපනශාලාවලින් ලබාදුන් ආහාර වේල්, සංවත්සර කේක් සහ පාරිභෝගිකයින් සඳහා විශේෂ සමරු තෑගි සමඟින් උත්සව පවත්වන ලදී.

“මීට වසර 70කට පෙර, මගේ පියා මැලිබන් වීදියේ දී එක් ශාඛාවක් විවෘත කරන ලද්දේ, ඔහුගේ වචනය මත සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මත පදනම්වයි.” යනුවෙන් සුමති හෝල්ඩිංග්ස් හි සභාපති ජගත් සුමතිපාල මහතා මෙම උත්සවයේදී පැවසීය. එමෙන්ම “අවංකත්වය සහ නිවැරදිභාවය” මෙම සමූහ ව්‍යාපාරය ගොඩනඟන ලද අතර, අද අප සමඟ සිටින 2,000 කට අධික පිරිස එම වටිනාකම් ඉදිරියට රැගෙන යනු ලබයි. සුමති හෝල්ඩිංග්ස් සමාගම සිය අටවන දශකයට පා තබමින් කියා සිටින්නේ, ඉදිරි වසර 70 තීරණය කරන නව ව්‍යාපාර ගොඩනඟන අතරම, මුල් නිර්මාතෘවරුන්ගේ වටිනාකම් සහ ගුණාංග සදා ඉදිරියටම ගෙන යන බවයි.

END.