𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

ශ්‍රී ලංකාව දශකයකට පසු ඉහළ පෙළේ සංචාරකයින් ඉලක්ක කරගත් නව ඩිජිටල් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

දීර්ඝ කාලයක සිට ප්‍රමාද වී තිබූ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ නව අන්තර්කාලීන ඩිජිටල් මාධ්‍ය සහ මහජන සම්බන්ධතා (PR) ප්‍රචාරක වැඩසටහන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන (SLITHM) ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වැඩසටහන එළිදැක්වුණු අතර, මෙම අන්තර්කාලීන ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙතෙක් කාලයක් මෙරට සංචාරක ප්‍රවර්ධනය සංචාරක ප්‍රදර්ශන සහ roadshows හරහා B2B පමණක් සීමා වී තිබූ බවයි. එහෙත්, කෘතිම බුද්ධිය (AI) ඔස්සේ සංචාරක සැලසුම් ක්ෂණිකව සිදු කෙරෙන වත්මන් යුගයට ගැළපෙන පරිදි ඩිජිටල් සහ මහජන සම්න්ධතා ප්‍රවේශයකින් ලෝකය වෙත යාමට ශ්‍රී ලංකාව දැන් සූදානම් බව ඔහු අවධාරණය කළේය. මෙම අන්තර්කාලීන වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ආරම්භ වන අතර, ඉදිරියේදී ජර්මනිය, රුසියාව, ඉන්දියාව, චීනය යන රටවල මෙන්ම ලෝක සංචාරක වෙළෙඳපොළ (WTM) ප්‍රදර්ශනයට සමගාමීව ද දියත් කෙරේ. තෝරාගත් මෙම රටවල් 6 සඳහා එක් රටකට රුපියල් මිලියන 100 බැගින් වෙන් කර ඇති අතර ප්‍රචාරණ කටයුතු මාස 6ක් පුරා ක්‍රියාත්මක වේ. අමාත්‍යවරයා සඳහන් කළේ මෙය දශකයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වූ ව්‍යාපෘතියක් බවයි.

පෙර සැලසුම් කර තිබූ ප්‍රචාරණ වැඩසටහනක ප්‍රසම්පාදන (procurement) සහ කළමනාකරණ ගැටලු පැවති බැවින් එය අත්හැර දැමීමට සිදු වූ බවත්, ඉන් අනතුරුව නව වැඩපිළිවෙළක් මුල සිටම ආරම්භ කළ බවත් රණසිංහ මහතා අනාවරණය කළේය. ඒ අනුව, ඉදිරි සංචාරක ප්‍රවර්ධන කටයුතුවල විනිවිදභාවය සහ නිසි කළමනාකරණය තහවුරු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව (World Bank) වැනි බහුපාර්ශ්වීය අරමුදල් ආයතනවල තාක්ෂණික සහ ප්‍රසම්පාදන සහාය ලබාගෙන ඇත. මෙම මාස හයක අන්තර්කාලීන කාලය අවසානයේදී, වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන, රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන සහිත පුළුල් ගෝලීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, ආයතනික ප්‍රතිසංස්කරණ (විශේෂයෙන් තීරුබදු රහිත සාප්පු පද්ධතිය) සහ හැනොයි සිට කොළඹ දක්වා නව ගුවන් ගමන් සේවා ඇරඹීම වැනි ගුවන් සබඳතා වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ ගොස් තිබේ.

සංචාරකයින්ගේ පැමිණීම දැනටමත් ස්ථාවර මට්ටමක පවතින නමුත්, නව ඩිජිටල් ප්‍රවේශය හරහා ශ්‍රී ලංකාව ඉලක්ක කරන්නේ “ගුණාත්මක සහ ඉහළ ආදායම් ලබන” සංචාරකයින් (up-market tourists) ආකර්ෂණය කර ගැනීමටය. ඒ අනුව ශ්‍රී ලංකාව දැනටමත් නැගී එන සුවතා සංචාරක ගමනාන්තයක් (emerging wellness destination) ලෙස පිළිගෙන ඇති අතර, ඊට අමතරව මුහුදු කිමිදීම් (diving) සහ ගොල්ෆ් (golf) වැනි ඉහළ කාර්යසාධනයක් සහිත සුවිශේෂී සංචාරක අංශ ප්‍රවර්ධනය සඳහා මෙම නව ඩිජිටල් වේදිකාව යොදාගැනීමට නියමිතය.

උපුටා ගැනීම : අද දෙරණ