නියමුවන් රහිත මගී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) සිදු කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී, මගී ඩ්‍රෝන යානා හඳුන්වාදෙන චීනයේ Yi Hang (යී හැංග්) සමාගම වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී, අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ප්රමුඛ ගුවන්සේවා අධිකාරියේ බලධාරීන් සමඟ මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
eVTOL නමින් හඳුන්වන ධාවන පථයක් අවශ්‍ය නොවන මෙම ඩ්‍රෝන යානා සිරස්ව ගුවන් ගතවීමට සහ ගොඩබැසීමට හැකි අතර, සංචාරක කර්මාන්තය, මඟී ප්‍රවාහනය හදිසි සේවා සඳහා යොදා ගැනීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානයට යොමු විය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව, Port City Commission, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ගුවන්තොටුපල බලධාරීන් ඇතුළු ආයතන රැසක් සමඟ සම්බන්ධීකරණය අවශ්‍යය වේ. මෙය මුලින්ම වාණිජ සේවාවක් ලෙස නොව පරීක්ෂණ අදියරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යොජිත අතර, මාස 06ක පමණ කාලයක් Port City පරිශ්‍රයේදී අත්හදා බැලීම් සිදු කිරීමට සැලසුම් කර ඇත.
පසුගියදා E 216 වර්ගයේ මගීන් දෙදෙනෙකු ගමන් කළ හැකි ඩ්‍රෝන යානයක් මෙරටට ගෙන්වා ඇති අතර, අත්හදා බැලීම සඳහා එය යොදා ගැනීමට නියමිතයි. මෙම යානය ප්‍රචාලක (ප්‍රොප්ලර් – Propller) 16ක්, බැටරි කට්ටල 12ක්, ගුවන්යානා පාලන පද්ධති (Flight – Control) 03ක් සමඟ පරිගණක පද්ධතියකින් සමන්විත වේ.
යානය පාලනය කිරීම එක් මධ්‍යස්ථානයක සිට දුරස්ථ පාලකයක් හරහා සිදුවෙන බැවින්, අනතුරක් හෝ සන්නිවේදන ගැටලුවක් ඇතිවුවහොත් ආරක්ෂිත ක්‍රියා මාර්ගයකට ස්වයංක්‍රීයව යොමුවිය හැකියි.
මගී ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කිරීම මඟින් සංචාරක ක්ෂේත්රය තුළ විශේෂයෙන් සීගිරිය, පිදුරංගල කඳුකර ප්‍රදේශ සහ දූපත් වැනි ස්ථාන වෙත සංචාරකයින් රැගෙන යාම මඟින් Aerial Tourism සඳහා නව වෙළඳපොලක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කෙරේ.
අද දෙරණ





