𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ලොව පුරා සිටින  ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්  ඒකාබද්ධ කරමින්  ගෝලීය ව්‍යාපාරික සම්මේලනය එළි දක්වයි

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBCJ)  20 වැනි සංවත්සරය මෙම වසරේ ඔක්තෝබර් 9 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර පිහිටි Meiji Kinenkan හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.  ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු රොඩ්නි පෙරේරා මහතා සහභාගී වූ  මෙම සුවිශේෂී අවස්ථාව සඳහා  ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා, කම්කරු හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා, ජපානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු  යමගුචි සුසුමු (Yamaguchi Susumu) මහතා, Ayase City හි නගරාධිපති ගරු කොශියෝ මසායොශී (Koshio Masayoshi) මහතා, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගරු ඉවාසෙ කීචිරෝ (Iwase Kiichiro) මහතා සහ ජපානයේ සංගම් කිහිපයක සාමාජිකයින් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීමට සැලසුම් කර තිබූ  අතර  පැමිණීමට නොහැකි වීම පිළිබඳව සිය කනගාටුව ද ප්‍රකාශ කරමින් එතුමාගේ සුභාෂිංශන සහිත වීඩියෝ පණිවිඩයක්  මෙම සංවත්සර සැමරුම වෙනුවෙන් බෙදාගෙන තිබුණි.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ විශේෂ සන්දිස්ථානයක් වූ මෙම 20 වැනි සංවත්සර සැමරුම ලොව පුරා විසිරී  සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාර වෙනුවෙන් සුවිශේෂී ගෝලීය ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ අවස්ථාවක් ලෙස ද වැදගත් විය . එනම් මෙහිදී ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිල එකම  සංවිධානයක් යටතේ ඒකාබද්ධ කිරීම, ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාරවලට සම්බන්ධ කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය වීම ආදී මූලික අරමුණු රැසක් පෙරටු කරගනිමින්  ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ සජීව් රාජපුත්‍ර, එහි සභාපති ජගත් රාමනායක සහ භාණ්ඩාගාරික ජිතේන්ද්‍ර සමරවික්‍රම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිත  “Global Federation of Sri Lankan Business Councils” (GFSLBC) ව්‍යාපෘතිය හඳුන්වාදීම සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාවට  සහභාගී වීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලවල සාමාජිකයින් බොහෝ පිරිසක් විදෙස් රටවල සිට ජපානය වෙත පැමිණ සිටි අතර උත්සවය අතරතුරදී ගෝලීය සම්මේලනයේ ප්‍රධාන නිල ධූරයන්  සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගත්තේය. එහිදී  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ජපානයේ නියෝජිත සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ  ජාත්‍යන්තර අධ්‍යක්ෂ සජීව් රාජපුත්‍ර  මහතා ගෝලීය සම්මේලනයේ පළමු මහලේකම් ලෙස තේරී පත් වූ අතර එහි නියෝජ්‍ය මහලේකම් ධූරය වෙනුවෙන්  ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික සමුළුවේ සභාපති  කුලා සෙල්ලතුරයි මහතා පත් විය. මෙහි  උප ලේකම් ධූරය සඳහා  තේරී පත්වූයේ ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ  උප සභාපති වන රවී වර්මා මහතාය. ශ්‍රී ලංකා ඇමරිකා වාණිජ මණ්ඩලයේ  සභාපති සංජේ සේදර මහතා  නියෝජ්‍ය උප ලේකම් ලෙසත්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ උප සභාපති නවීන් චන්ද්‍රසේකර මහතා භාණ්ඩාගාරික ලෙසත්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ භාණ්ඩාගාරික ජිතේන්ද්‍ර සමරවික්‍රම මහතා  නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙසත් මෙහිදී තේරී පත් වූ අතර ජගත් රාමනායක මහතා මෙම ගෝලීය සම්මේලනයේ ගෞරව උපදේශකයෙකු ලෙස පත් විය.

ඒ අනුව තවත් ගෝලීය ව්‍යාපෘතියක නැවුම් ආරම්භය සනිටුහන් කරමින් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ  20 වැනි සංවත්සරය  සාර්ථක ලෙස නිමාවට පත්විය.