𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට (SMIB)  නව සභාපතිවරයෙකු පත් කෙරේ.

දශක නවයකටත් වඩා දිගු ඉතිහාසයක් පුරාවට ශ්‍රී ලාංකික ජනතාවගේ  සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සඳහා නිරතුරුවම විශ්වසනීයත්වය සහ සුරක්ෂිත සේවාවක් තහවුරු කළ  රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍රලාභි සුවිශේෂී  මූල්‍ය ආයතනයක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ  (SMIB)  නව සභාපතිධූරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත් වී ඇත. SMIB බැංකුව තීරණාත්මක මොහොතකදී මෙම නව පත්වීම සඳහා එළඹ ඇත්තේ   සිය ශාඛා ජාලය සහ ඩිජිටල් හැකියාවන් තවදුරටත් වැඩි දියුණු කිරිම මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි සකස් කළ මුල්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගනිමිනි.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍යාධිකාරී තුෂාර අසුරමාන්න මහතා නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ නව සභාපතිවරයා ලෙස සූසයිතාසන් මහතා , අපගේ බැංකුවේ දිශානතිය මෙහෙයවීමට මෙන්ම සහයෝගීතාවය, නවෝත්පාදනය සහ සාර්ථකත්වය සහිත සංස්කෘතියක් පෝෂණය කිරීම උදෙසා තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කරනු ඇතැයි  මම විශ්වාස කරනවා. එමෙන්ම ඔහුගේ මගපෙන්වීම යටතේ,  බැංකුවේ සියලුම අංශ සක්‍රීයව ඩිජිටල් පරිවර්තනයට ලක්කරමින් අපගේ බැංකු කටයුතු තවදුරටත් වැඩි  දියුණු  කරනු  ඇතැයි මම අපේක්ෂා කරනවා.”

ජෝශප් සූසයිතාසන් මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ඇඟලුම් නිෂ්පාදන සහ සංචාරක අංශයේ වසර 26කට අධික මනා පළපුරුද්දක් ඇති දක්ෂ වෘත්තිකයෙකි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සෙසු සාමාජිකයෙකු ලෙස ඔහු Timex & Fergasam Group සහ L.M.Collections (Pvt) Ltd, මෙන්ම ටැන්සානියාවේ Star Apparels (T) Limited හි සාමාන්‍යාධිකාරී ඇතුළු සැලකිය යුතු තනතුරු රැසක් හොබවා ඇත. එමෙන්ම ඔහු පිලිපීනයේ KPMG, USAID, සහ Prime Exponents Inc වැනි ගෞරවනීය ආයතන සඳහා කළමනාකරණ උපදේශකයෙකු ලෙස ද සිය දායකත්වය සපයා තිබේ.  කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව ඔහු සතු පුළුල් ප්‍රවීණතාවය සමාගම්වලට වටිනා අවබෝධයක් සහ මග පෙන්වීමක් ලබා දීම සඳහා උපකාරී වී ඇති අතර, එමඟින් ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබේ. ඇඟලුම් සහ සංචාරක කර්මාන්තය තුළින් ලද අත්දැකීම් සම්භාරය අනුසාරයෙන් ජෝසප් සූසයිතාසන් මහතා ලබා ඇති  විශේෂඥ දැනුම SMIB ආයතනයේ ද  මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය සහ උපාය මාර්ගික සැලසුම් ආදී අංශයන් කෙරෙහි නිසැකයෙන්ම වටිනා අත්වැලක් මෙන්ම එම සංවිධානයේ සාර්ථකත්වයට සහ සංවර්ධනයට අගනා වත්කමක් ද වනු ඇත.

මෙම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් SMIB හි සභාපතිධූරයට අභිනවයෙන් පත් වූ ජෝසප් සූසයිතාසන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙම කීර්තිමත් ආයතනයේ සභාපතිධූරයට පත්වීම ඇත්තෙන්ම ගෞරවයක් . අපගේ තරඟකරුවන් හා සමාන වන පරිදි මූල්‍ය එකතුව සහ පරිමාව ඉහළ නැංවීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෘෂි, පශු සම්පත් සහ ධීවර යන අත්‍යවශ්‍ය අංශවල විශේෂතාවන්  උපයෝගී කර ගනිමින් අපගේ බැංකුව ඊළඟ මට්ටමට රැගෙන යාමටත් , ආයතනයේ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස තාක්ෂණික දියුණුව වැළඳගනිමින්, ක්‍රමානුකූල වෙනස්කම් හඳුනාගැනීමට සහ ක්‍රියාත්මක කිරීමටත් මම අපේක්ෂා කරනවා. මෙම ගෞරවනීය මූල්‍ය ආයතනයේ සභාපතිධූරය හොබවමින් එය තවදුරටත් සංවර්ධනීය මාවතක් ඔස්සේ  ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් ලෙස  මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ස්ථානයක් වෙත රැගෙන යෑමට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා.”

SMIB සිය ගනුදෙනුකරුවන්ට දේපල ඇප මත   නිවාස ණය, පෞද්ගලික ණය, EPF ණය සහ වාහන ණය පහසුකම් ලබා දීමේ මෙහෙවරෙහි අඛණ්ඩව නිරත වී සිටියි. දිවයින පුරා ක්‍රමෝපායිකව පිහිටා ඇති ශාඛා 25කින් සමන්විත SMIB බැංකු ජාලය මඟින් , බාධාවකින් තොරව සහ සහතික කරන ලද පාරිභෝගික කේන්ද්‍රීය බැංකු අත්දැකීමක් සමඟින් SMIB බැංකුව සිය ඩිජිටල් සක්‍රීය ස්පර්ශක ස්ථාන පුළුල් කිරීමට  සූදානමින් සිටියි.

SMIB ආයතනය සහ එහි සේවාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා ඔවුන්ගේ https://www.smib.lk/ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ඡායාරූප සටහන:

SMIB ආයතනයෙහි සභාපති ජෝසප් සූසයිතාසන් මහතා
SMIB ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී තුෂාර අසුරමාන්න මහතා