𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කළ සමාගම් 6ක වත්කම් ක්‍රියාවිරහිත කෙරේ

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් පහත වගුව 1 හි සඳහන් ආයතන සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම ක්‍රියාවිරහිත කිරීමේ නියෝග (Freezing Orders) තහවුරු කරමින්, එකී නියෝග තවදුරටත් දීර්ඝ කර ඇත.

වගුව 1: වත්කම් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දැනට ක්‍රියාත්මකව පවතින ආයතන ලැයිස්තුව

අනු අංකආයතනයේ නම
1කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් *
2සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් *
3සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් **
4ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසින් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් **
5ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් **
6ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් **

සටහන: * මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ මේ වන විට විමර්ශන සිදු කෙරෙමින් පවතී.

** මෙම ආයතන මුදල් ව්‍යාපාර පනතෙහි 2 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින්  මුදල් ව්‍යාපාර සිදු කර ඇති බව සහ/හෝ තැන්පතු භාරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇත.

තමන් විසින් මහත් පරිශ්‍රමයෙන් උපයාගත් මුදල් අහිමි වීමට ඉඩ ඇති බැවින්, තම මුදල් නීත්‍යානුකූල අවසරලත් ආයතනවල පමණක් තැන්පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත අවධාරණය කර සිටී.

1988 අංක 30 දරන බැංකු පනත යටතේ හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් බලපත්‍ර ලබා ඇති හෝ එම පනත්වල විධිවිධානවලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතන හෝ පුද්ගලයන්ට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට අවසර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත තවදුරටත් දැනුම් දෙනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා වූ තොරතුරු පදනම් කරගෙන, එම ආයතන සහ පුද්ගලයන් විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධි විධාන උල්ලංඝනය කරමින් ඇතැම් ආයතන සහ පුද්ගලයන් විසින් තැන්පතු භාරගනු ලැබ තිබේද හෝ භාර ගන්නේද හෝ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලැබුවේද හෝ කරගෙන යන්නේද යන්න පිළිබඳව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන සිදු කරමින් පවතී. තවද, මුදල් ව්‍යාපාර පනතෙහි විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාර ගන්නා බවට පෙනී යන ආයතන සහ පුද්ගලයන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කරන ලෙසටද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි.