𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටුඬේ Top 30’ වර්ගීකරණයේ පළමු ස්ථානයට යළිත්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටුඬේ’ විසින් කාර්යසාධනය අතින් මෙරට ප‍්‍රමුඛතම සමාගම් 30 ශ්‍රේණිගත කරන ‘බිස්නස් ටුඬේ Top 30’ 2019-20 වර්ගීකරණයේ මුල් තැනට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

කොමර්ෂල් බැංකුව මෙම ගෞරවණීය වර්ගීකරණයේ පළමු ස්ථානයට නැවතත් පත්වන්නේ පිට පිටම පසුගිය වසර 12 තුළ මෙම වර්ගීකරණයේ ප‍්‍රමුඛතම සමාගම් පහ අතර සිටීමට අනතුරුවයි.

2020 නොවැම්බර් මාසයේදී නිකුත් කෙරුණු මෙම නවතම ශ්‍රේණිගත කිරීමෙහි 30 වන ස්ථානයට පත්වූ සමාගමට ‘බිස්නස් ටුඬේ’ විසින් ලකුණු 4.4 ක් ලබාදී තිබෙන අතර දෙවැනියට තේරී පත්වූ සමාගමට ලකුණු 26.95 ක් ලබාදී තිබේ. මෙහිදී, පළමු ස්ථානයට පත්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ලබාගෙන තිබෙන ලකුණු ගණන 27.6 කි.

‘ගෝලීය කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමටත් පෙර සිට යම් යම් අභියෝගයන්ට මුහුණ දුන් වසරක් තුළදී නැවතත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේ පළමු ස්ථානයට පත්වීම අපට ඉමහත් සතුටක්,’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ව්‍යාපාරික ආයතන වල ශක්තිය පරීක්ෂණයට භාජනය කිරීමට හොඳම අවස්ථාව මෙවැනි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවයි. කොවිඞ්-19 වසංගතය ඇතුළු අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම ජයග‍්‍රහණය කරා බැංකුව රැගෙන ගිය අපගේ සමස්ත කණ්ඩායමට මා මෙය පුද කරනවා.’

මෙම වර්ගීකරණය පිළිබඳව අදහස් දක්වමින් ‘බිස්නස් ටුඬේ’ මෙසේ සඳහන් කරයි. ‘2019-20 බිස්නස් ටුඬේ Top 30 වර්ගීකරණය මගින් ආයතනික ලෝකය තුළ ප‍්‍රචලිත සමාගම් සහ මෙම ලයිස්තුවට පළමු වරට අළුතින් එක්වූ සමාගම්වල කාර්ය සාධනය පෙන්නුම් කරනවා. මෙවැනි අභියෝගාත්මක කාලයක් තුළ පවා අළුතින් එක්වූ සමාගම් ආයතනික ලෝකය තුළ තමන්ගේ තත්ත්වය තහවුරු කරගෙන තිබීම මෙහිදී දිරියක් එකතු කරනවා.’

2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් තෝරා ගන්නා ලද කොමර්ෂල් බැංකුව 2019 වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.4 ක වත්කම් වලට හිමිකම් කියන ලදී. එසේම, බැංකුව විසින් 2019 වසරේදී රුපියල් බිලියන 150 ක දළ ආදායමක්, රුපියල් බිලියන 17.4 ක ශුද්ධ ලාභයක්, රුපියල් ටි‍්‍රලියන 1.07 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 930.7 ක ශුද්ධ ණය සහ ලැබීම් වාර්තා කර තිබේ.

දශක ගණනාවක් පුරා මෙරට ජාතික ආර්ථිකයට දායකවීමේ ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ආර්ථිකය නැවතත් නගා සිටුවීමට කාර්ය ප‍්‍රාග්ධන ණය සහ ණය සහන ලබාදෙමින් පුද්ගලික අංශයේ බැංකුවක් ලෙස ප‍්‍රමුඛතම කාර්ය භාරයක් සිදුකර ඇත. බැංකුව විසින් කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ‘අරුණැල්ල’ මූල්‍ය සහාය යෝජනා ක‍්‍රමය යටතේ විවිධ වැඩසටහන් 11 ක් දියත් කර තිබෙන අතර මෙම සහන සියල්ල ලබාදී තිබෙන්නේ රජය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙන ණය සහන කාලයට අමතරවයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ..

මූලාශ්‍රය – අද දෙරණ