𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා රුපියල්වලින් ණය දීම අරඹයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මුහුණ දෙන විදේශ විනිමය අවදානම් අවම කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති හා යටිතල පහසුකම් ක්ෂේත්‍රවල නව පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා ලෝක බැංකු සමූහය (World Bank Group) විසින් දීර්ඝකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය පහසුකම් සැපයීම ව්‍යාප්ත කර ඇත. ආසියානු කලාපයේ සිදු කළ මෙම මාදිලියේ ප්‍රථම ගනුදෙනුව ලෙස, ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය විසින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ HSBC ශ්‍රී ලංකා බැංකුව අතර වසර හයක කාලයකට අදාළ ශ්‍රී ලංකා රුපියල් (LKR) ණය පහසුකමක් පිළියෙල කර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 5 කට සමාන මෙම ස්ථාවර පොලී අනුපාතික පහසුකම, IFC සංස්ථාව ශ්‍රී ලංකාව තුළ සිදුකෙරුණු ප්‍රථම ණය පහසුකම වේ.

මෙම පහසුකම මගින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා දීර්ඝකාලීන මූල්‍යකරණය රැස්කිරීමට දැනටමත් සහාය ලැබෙමින් පවතී. ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාරය විසින් සම්පාදනය කරන ලද අතිරේක දේශීය මුදල් අරමුදල් ද සමඟින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක වටිනාකමකින් යුත් වසර 10 ක රුපියල් ණයක් ලබාදීමට IFC සංස්ථාවට හැකියාව ලැබී ඇත. මෙය IFC සංස්ථාව විසින් ශ්‍රී ලංකාව තුළ ලබාදුන් දීර්ඝතම කාලසීමාව සහිත රුපියල් ණය මුදල වන අතර, එය රුපියල්වලින් මුදල් වෙන් කළ ප්‍රථම යටිතල පහසුකම් ණය මුදල මෙන්ම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සිදුකළ ප්‍රථම ආයෝජනය ද වේ.

දේශීය වශයෙන් රුපියල් අරමුදල් රැස් කිරීම මගින් ව්‍යාපාර උපයන මුදල් ඒකකයෙන්ම ණය ලබාදීමට ලෝක බැංකු සමූහයට හැකියාව ලැබෙන අතර, එමගින් විදේශ විනිමය අනුපාතික වෙනස්වීම් නිසා ව්‍යාපාරවලට සිදුවන අවදානම අවම වේ. පෞද්ගලික ආයෝජන සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ දීර්ඝකාලීන දේශීය මුදල් මූල්‍යකරණය තවදුරටත් පුළුල් කිරීමට ලෝක බැංකු සමූහය බලාපොරොත්තු වෙයි. ලෝක බැංකු සමූහයේ භාණ්ඩාගාර පාරිභෝගික විසඳුම් සහ ව්‍යුහගත කිරීම් පිළිබඳ අධ්‍යක්ෂ කේෂව් ගෝර් (Keshav Gaur) මහතා සඳහන් කළේ, දීර්ඝකාලීන දේශීය මුදල් මූල්‍යකරණය ලබාගැනීමට ඇති හැකියාව මගින් ව්‍යාපාරවලට විදේශ විනිමය අවදානම්වලට මුහුණ නොදී ආයෝජනය කිරීමට, වර්ධනය වීමට සහ රැකියා උත්පාදනය කිරීමට උපකාරී වන බවයි.

මෙම ගනුදෙනුව HSBC බැංකුව සහ ලෝක බැංකු සමූහය අතර ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීය වශයෙන් පවතින පුළුල් සහයෝගිතාවේ කොටසකි. HSBC ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් (Mark Surgenor) මහතා ප්‍රකාශ කළේ, IFC සමඟ ඇති කරගත් මෙම සන්ධිස්ථානීය සහයෝගිතාවයට සහාය දැක්වීමට ලැබීම ගැන ආඩම්බර වන බවත්, එමගින් සමාගම්වලට දීර්ඝකාලීන ශ්‍රී ලංකා රුපියල් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණය කිරීමට උපකාර වන බවත්ය.

ශ්‍රී ලංකා පහසුකම ගොඩනඟා ඇත්තේ 2024 දී කෙන්යාවේදී සහ 2026 දී දකුණු අප්‍රිකාවේදී IFC සහ සිටි බැංකුව (Citi) විසින් පිහිටුවන ලද ණය පහසුකම් පදනම් කරගනිමිනි. පසුගිය දශකය තුළ, IFC විසින් මුදල් වර්ග 71 ක් ඔස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 33 කට වඩා වැඩි ප්‍රමාණයක දේශීය මුදල් මූල්‍යකරණයන් සිදුකර ඇත.

අද දෙරණ