𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොලොන්නාවේ ස්ථාපිත කිරීමට සැලසුමක්

දිගුකාලීන විදුලි ජනන පුළුල් කිරීමේ සැලසුම්වලට අනුකූලව, ශ්‍රී ලංකාවේ ප්‍රථම උපයෝගිතා පරිමාණයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) කොලොන්නාව ග්‍රිඩ් උපපොළෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. 

ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන අරමුදල් යොදා ගනිමින් විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමේ සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 100/මෙගාවොට් පැය 100 බැටරි බලශක්ති ගබඩා පද්ධති සංවර්ධනය කිරීම සඳහා කොලොන්නාව ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම පිණිස 2024-09-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, Joint Venture of Ceylex Engineering (Pvt.) Ltd and Xingneng Electric Power Construction Co. Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.27ක, යුරෝ මිලියන 2.61ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 555.13ක මුදලකට (බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අද දෙරණ