𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වුවත් යථා තත්ත්වයට පත්වීමේ අසමානතාවයන් පවතින බව ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින් සැලකිය යුතු සන්ධිස්ථානයක් සපුරාගෙන ඇති නමුත්, ගෘහස්ථ ආදායම් සහ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිඵල තවමත් සමස්ත ආර්ථික පුනර්ජීවනයට වඩා පසුපසින් සිටින බැවින් එම යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ හා අසමාන මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. සිය නවතම අර්ධ වාර්ෂික වාර්තාව හරහා ලෝක බැංකුව මේ බව සඳහන් කරයි.

ලෝක බැංකුව විසින් අද (06) දින ප්‍රකාශයට පත් කරන ලද From Recovery to Transformation ශීර්ෂයෙන් යුතු ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, ශක්තිමත් කර්මාන්ත කාර්යසාධනය සහ සේවා අංශයේ ස්ථාවර වර්ධනය හේතුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙවර 4.4% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

කෙසේ වෙතත්, අර්බුදයෙන් පසු ඇති වූ ක්ෂණික පුනර්ජීවනය මන්දගාමී වීම සහ ඵලදායිතාව දුර්වලව පැවතීම හේතුවෙන් 2027 වන විට වර්ධනය 4.2% දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය සහ එල් නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑම වැනි අවදානම් හේතුවෙන් ඵලදායිතාවට සහ ආහාර සුරක්ෂිතතාවට තර්ජන එල්ල විය හැකි බව ලෝක බැංකුව අවධාරණය කරයි.

අද දෙරණ