𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ක්‍රිෂාන් තිලකරත්න සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරයට

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂාන් තිලකරත්න මහතා එහි නියෝජ්‍ය සභාපති ධූරයට පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය.  2026 අගෝස්තු 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් වීම සිදුකර තිබේ.

2018 වසරේදී විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ තිලකරත්න මහතා නියෝජ්‍ය සභාපති ධුරයට පත් වීම මඟින්, බැංකුවේ ආයතනික යහපාලනය වෙනුවෙන් ඔහු දීර්ඝ කාලයක් පුරා ඉටු කළ මෙහෙවර මෙන්ම ඔහු සතු නායකත්ව හැකියාවන්ද මැනැවින් පිළිබිඹු වේ.

මීට පෙර LOLC Finance PLC හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ තිලකරත්න මහතා, LOLC Holdings PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයකු ද විය.

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට අධික පළපුරුද්දක් තිලකරත්න මහතා සතුය. 1990 සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 19 ක්ව සිටියදී බැංකු සහයක නිලධාරීවරයකු ලෙස සෙලාන් බැංකුවට එක් වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, 1995 වසරේදී LOLC සමූහයට එක් විය. මේ වන විට කළමනාකරණය, ණය සේවා, බෙදාහැරීම් නාලිකා කළමනාකරණය, අලෙවිකරණය, factoring, portfolio management සහ ඉස්ලාමීය මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක වසර 31 කට අධික වෘත්තීය පළපුරුද්දක් ඔහු සතුය.

තවද ඒ මහතා අග්නිදිග ආසියාවේ සහ මධ්‍යම ආසියාවේ රටවල් රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයක්ද ලබා ඇත. මෙම රටවල් අතරට පිලිපීනය, ඉන්දුනීසියාව, පාකිස්තානය, කිර්ගිස්තානය, කසක්ස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය සහ ඊජිප්තුව ඇතුළත් වේ. ටජිකිස්තානයේ LOLC Moliya, කිර්ගිස්තානයේ OJSC Micro Finance Company ‘ABN’, කසක්ස්තානයේ R-Finance, කාම්බෝජයේ Prasac Microfinance Institution Ltd සහ ඊජිප්තුවේ LOLC යන සමාගම්වල ඒ මහතා නායකත්ව තනතුරු දරා ඇති අතර, ටජිකිස්තානයේ Lombard Micro Finance Company හි උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේදීද තිලකරත්න මහතා මූල්‍ය සේවා ක්ෂේත්‍රයට කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) සහ Commercial Insurance Brokers (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවිධානය වන Finance Houses Association of Sri Lanka (FHASL) හි සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය [Chartered Institute of Management Accountants (CIMA)] හි අවසන් සුදුසුකම් සපුරා ඇති තිලකරත්න මහතා, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (Institute of Bankers of Sri Lanka) ආශ්‍රිත සාමාජිකත්වය (Associate membership) ද දරයි. එමෙන්ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ Harvard Business School හි ක්ෂුද්‍ර මූල්‍ය සේවා සම්බන්ධ ක්‍රමෝපායික නායකත්ව වැඩසටහනක්ද සම්පූර්ණ කර ඇත.

උපුටා ගැනීම : අද දෙරණ