𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ලංකාවට විදේශ විනිමය එවන වයස 50ට අඩු ආයෝජකයින්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට රජයේ ඉඩම්

විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින්හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම්වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කරනු ලැබ ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු හෙක්ටයාර 117ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හෙක්ටයාර 88ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සතු හෙක්ටයාර 42ක් වශයෙන් වන ඌන උපයෝජිත ඉඩම් හෙක්ටයාර 247ක් පහත සඳහන් නිර්ණායක යටතේ හඳුනා ගනු ලබන සුදුසු ආයෝජකයින් වෙත දිගුකාලීන බදු පදනම මත බැහැර කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

  • ආයෝජකයෙකුගේ උපරිම වයස අවුරුදු 50ක් ලෙස සැලකීම.
  • වැවිලි/කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධන කටයුතු, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල උත්පාදනය, සූර්ය බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන කටයුතු යන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා ලබා දීම.
  • විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තෝරා ගනු ලබන එක් ආයෝජකයෙකු වෙත උපරිම හෙක්ටයාර 1‑4 අතර ඌන උපයෝජිත ඉඩම් කොටසක් දිගුකාලීන බදු පදනම මත ලබා දීම.
  • පසුගිය වසර 10ක කාලය තුළ වසර 03ක් හෝ ඊට වැඩි කාලයක් විදෙස්ගත රැකියාවක නියුක්තව සිටි හෝ විදේශ ශ්‍රමිකයෙකු ලෙස දැනටමත් වසර 03කට වැඩි කාලයක් සේවයේ නියුතු පුද්ගලයන් සඳහා වැඩසටහන යටතේ ප්‍රමුඛතාව ලබා දීම.

උපුටා ගැනීම : අද දෙරණ