𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

2026 පළමු මාස 06 දී සංසරණයෙහි පවතින මුදල් නෝට්ටු හා කාසි රු. බිලියන 72.7කින් වැඩිවෙලා – මහ බැංකුව

2026 පළමු භාගය තුළ දී සංසරණයෙහි පවතින මුදල් (මුදල් නෝට්ටු සහ කාසි) ප්‍රමාණයෙහි වටිනාකම රු. බිලියන 72.7කින් ඉහළ ගිය අතර, ප්‍රධාන වශයෙන් උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ මුදල් ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් 2026 ජූනි මස අග වන විට එය රු. බිලියන 1,641.7ක් විය.

උත්සව සමයෙන් පසුව නැවතත් බැංකු පද්ධතිය වෙත ව්‍යවහාර මුදල් අවශෝෂණය වීම සංසරණයෙහි පවතින මුදල් ප්‍රමාණයේ සිදු වූ අඩුවීම මඟින් නිරූපණය විය. ව්‍යවහාර මුදල්වල හැසිරීම වෙළෙඳපොළ පොලී අනුපාතිකවල හැසිරීමට අනුරූපව මහජනතාව සිය සන්තකයේ මුදල් තබා ගැනීමට දක්වන වරණයන් ද පෙන්නුම් කළේය.

සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල්, එනම් මුදල් නෝට්ටු සහ කාසි, මුදල් සහ මූල්‍ය පද්ධතියෙහි අත්‍යවශ්‍ය අංගයක් වේ. මෑත කාලයේ දී ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වේගයෙන් ව්‍යාප්ත වී තිබුණ ද, භෞතික මුදල් ආකාරයෙන් සංසරණයෙහි පවතින මුදල් බොහෝ ආර්ථිකයන් හි තවදුරටත් ප්‍රධාන ගෙවීම් මාධ්‍යය ලෙස උපයෝගී කර ගැනේ. සංසරණයෙහි පවතින මුදල්වල සිදුවන වෙනස්කම් මහ බැංකුවක ද්‍රවශීලතා කළමනාකරණයට සහ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සෘජුවම බලපාන අතර, මුදල් ඉල්ලුම නිවැරදිව අවබෝධන කර ගැනීම සහ පුරෝකථනය කිරීම, කාර්යක්ෂම මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 ජූනි වෙළෙඳපොළ මෙහෙයුම් වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

උපුටා ගැනීම : අද දෙරණ