𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ගැටලු පිළිබඳ සාකච්ඡාවක්

ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවැත්විණ.

එහිදී ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරිම් ව්‍යාපෘතිවල ගැටලු සහ ඒ්වා විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ අතර, එම ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන , වරාය සහ සිවිල් ගුවන් සේවා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන, ධිවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඊට අමතරව දිට්වාවලින් වූ හානිපූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.

අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒ්කකයක් ස්ථාපිත කිරිම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක්ද, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Maitrey Kulkarni, දේශපාලන අංශ‌යේ පළමු ලේකම් Navya Singla, වාණිජ අංශයේ පළමු ලේකම් Saurabh Sabhlok යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම : අද දෙරණ