𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

SLIATE ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණයේ ක්‍රමවේදය පිළිබඳව COPE අනුකාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පර්යේෂණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය, කාලසටහන සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් පත්කර ඇති පාර්ලිමේන්තු අනුකාරක සභාවේ අවධානය යොමු කෙරිණි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් එම අනුකාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පර්යේෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ආයතනික මෙහෙයුම් කමිටුව (Institutional Operations Committee) සහ සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත සම්බන්ධීකරණ කණ්ඩායම (Six-member Coordination Team) පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම පර්යේෂණය සඳහා යොදා ගැනීමට නියමිත මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය (Mixed-Methods Design), ප්‍රශ්නාවලි (Questionnaires) සකස් කිරීම සහ දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස අවධානය යොමු විය.

තවද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුකාරක සභාව වෙත මහජන අදහස් ලබාගැනීමේ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කෙරුණි.

පර්යේෂණයට අදාළ මානව සම්පත් සහ කළමනාකරණ තොරතුරු පද්ධති (MIS) අංශවල දායකත්වය ලබාගැනීම, පර්යේෂණයේ ක්‍රියාකාරී කාලසටහන (Gantt Chart) සකස් කිරීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද මෙහිදී කරුණු සලකා බැලීය.

එසේම, වාණිජ මණ්ඩල, කර්මාන්ත සංගම් සහ වෘත්තීය ආයතන ඇතුළු පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීමේ වැඩපිළිවෙළ සහ රටපුරා පිහිටි තෝරාගත් SLIATE ආයතනවල ක්ෂේත්‍ර නිරීක්ෂණ (Field Visits) සිදුකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

පර්යේෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක කරමින් මීළඟ රැස්වීමට අවශ්‍ය ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට ද අනුකාරක සභාවේදී තීරණය කෙරිණි.මෙම අනුකාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා ද එක්විය.

උපුටා ගැනීම : අද දෙරණ