𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අධි-අවදානම් මාතෘ සත්කාරක ක්ෂේත්‍රයේ වෛද්‍ය විශේෂඥතාවය ජෝසප් ෆ්‍රේසර් රෝහලෙන් පෙන්වා දෙයි

ජෝසප් ෆ්‍රේසර් රෝහල විසින් ක්‍රියාත්මක කරනු ලබන “Art of Healing” වැඩසටහන් මාලාවේ පියවරක් ලෙස, ආරක්ෂිත මාතෘත්වයක් සහ නිරෝගී දරු උපත් සහතික කිරීම වෙනුවෙන් රෝහල සතු වෛද්‍ය විශේෂඥතාවය සහ නවීන යටිතල පහසුකම් පිළිබඳව කරුණු අවධාරණය කෙරේ.

පූර්ණ පහසුකම් සහිත නවීන නවජ දැඩි සත්කාර ඒකකයක් (NICU), දැඩි සත්කාර පූර්ව ඒකකයක් (HDU), නවීන ප්‍රසූතිකාගාර, දියුණු ශල්‍යාගාර, රුධිර බැංකුවක් සහ රසායනාගාර සේවාවන්ගෙන් සමන්විත ජෝසප් ෆ්‍රේසර් රෝහල, මවට සහ බිළිඳාට ඇතිවිය හැකි ඕනෑම සංකීර්ණ වෛද්‍ය හදිසි අවස්ථාවක් සාර්ථකව පාලනය කිරීමේ පූර්ණ සූදානමකින් පසුවෙයි.

මෙම විශේෂිත වෛද්‍ය සත්කාරක ක්‍රියාවලිය සඳහා ප්‍රධානතම දායකත්වයක් සපයනු ලබන්නේ, අධි-අවදානම් සහ සංකීර්ණ ගැබ්ගැනීම් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රමීස් ෆුරුකාන් මහතායි. මවගේ සෞඛ්‍ය තත්ත්වය සහ කලලයේ වර්ධනය ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කරමින්, සුදුසු වේලාවට අවශ්‍ය වෛද්‍ය මැදිහත් වීම් සිදු කිරීම හරහා, අභියෝගාත්මක ගැබ්ගැනීම් කාලසීමාවන් ඉහළ විශ්වාසයකින් යුතුව ජය ගැනීමට ඔහු පවුල් රැසකට මඟපෙන්වා ඇත.

එසේම, දරුඵල අපේක්ෂාවෙන් පසුවන අය වෙනුවෙන් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින්, ඔවුන්ගේ දෙමාපිය සිහිනය සැබෑ කර ගැනීමට ද වෛද්‍ය රමීස් මහතා සහාය වෙයි. “සෑම ගැබ්ගැනීමක්ම එකිනෙකට වෙනස්. එහිදී විවිධ අභියෝග මතු විය හැකි වුවත්, පවතින අවදානම් කල්තියා හඳුනා ගැනීම, සමීපව නිරීක්ෂණය කිරීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබා දීම තුළින් විශාල වෙනසක් කරන්න පුළුවන්. නිවැරදි වෛද්‍ය රැකවරණය සහ විශේෂඥ මඟපෙන්වීම් තිබේ නම්, ඉහළ අවදානමක් සහිත ගැබ්ගැනීමකදී වුවත් නිරෝගී සහ සතුටුදායක දරු උපතක් කරා ළඟා විය හැකියි” යනුවෙන් වෛද්‍ය රමීස් මහතා පවසයි.

සිය දෛනික සායනික වෛද්‍ය සේවාවන්ට අමතරව, වෛද්‍ය රමීස් මහතා රුහුණ විශ්වවිද්‍යාලය සහ කරාපිටිය ශික්ෂණ රෝහල හරහා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ පුහුණු කිරීම් කටයුතු සඳහා ද සිය දායකත්වය පුළුල් ලෙස ලබා දී ඇත.

“Art of Healing” වැඩසටහන ඔස්සේ, ජීවිතයේ වැදගත්ම සහ සංවේදීම ගමන් මඟක පසුවන පවුල් වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලය දක්වන විශේෂඥභාවය, කරුණාව සහ කැපවීම ජෝසප් ෆ්‍රේසර් රෝහල අගය කරන අතර, සෑම මවකටම සහ බිළිඳෙකුටම ඉහළම ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය රැකවරණය ලබා දීම සහතික කරයි.