𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

මෙය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකරන  මාධ්‍ය නිවේදනයකි.

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාව ශක්තිමත් කරමින් අඛණ්ඩව තෙවන වරටත්  දිසි රැළ 2026′ දියත් කෙරේ.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය  නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින්  ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව  විසින් දියත් කරන ලද  ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහනක් වන ‘දිසි රැළ’ එහි අඛණ්ඩ තෙවන වසර  මේ වසරේදී සනිටුහන් කරයි.

මෙම වැඩසටහන යටතේ පසුගිය වසරවලදී බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින්  මහජන දැනුවත් කිරීමේ සහ ප්‍රජා දායකත්ව වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර  ‘දිසි රැළ 2026’ හරහා එම වැඩසටහන්  ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත.

“සමුද්‍රීය පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම” යන තේමා පාඨය පදනම් කරගනිමින් දියත් කෙරෙන ‘දිසි රැළ’ වැඩසටහන මගින් කලාපීය සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම, දේශසීමා හරහා සිදුවන සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ වඩාත් ආරක්ෂිත සමුද්‍ර කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනගාගෙන තිබෙන අඛණ්ඩ සහයෝගීතාව මැනවින් ප්‍රදර්ශනය වේ.  බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, මෙහෙයුම් සහයෝගීතාව, නවීන උපකරණ සැපයීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඔස්සේ මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්  සහ අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතිවිරෝධී ධීවර කටයුතු ඇතුළු අනෙකුත් නීතිවිරෝධී සමුද්‍රීය අපරාධයන් වැළැක්වීම සඳහා රටවල් ද්විත්වයම එක්ව කටයුතු කරයි.

ඕස්ට්‍රේලියානු රජය විසින් පසුගිය වසර තුන පුරා, ‘දිසි රැළ’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය  ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිරීක්ෂණ ඩ්‍රෝන යානා 24ක්, ඕනෑම භූමියක් මත ධාවනය කළ හැකි විශේෂ  ATVs රථ 3ක්, ස්ටැබික්‍රාෆ්ට්(Stabicraft) වර්ගයේ මුර සංචාරක යාත්‍රාවක් පරිත්‍යාග කර ඇති අතර පැය 24 පුරාම ක්‍රියාත්මක 106 විශේෂ හදිසි ඇමතුම් අංකය ද හඳුන්වා දී තිබේ.

එමෙන්ම ‘දිසි රැළ 2026’ වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු රජය විසින්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ  මෙහෙයුම් හැකියාවන් තවදුරටත් සවිමත් කරමින් වෙරළබඩ නිරීක්ෂණ සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙහෙයුම් සඳහා  තවදුරටත් සහය  ලබාදීම සඳහා  ඕනෑම භූමි ප්‍රදේශයක ධාවනය කළ හැකි විශේෂ ATVs රථ 5ක් අතිරේක වශයෙන් පිරිනැමීමට ද  නියමිත ය.

මෙම අඛණ්ඩ හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා මෙසේ  ප්‍රකාශ කළේ ය. “දිසි රැළ 2026 වැඩසටහන මගින් කලාපය පුරා සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව  සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර පවතින දිගුකාලීන සහයෝගීතාව මැනවින් පිළිබිඹු වෙනවා.  අපගේ මුහුදු සීමාවන් ආරක්ෂා කර ගැනීමට සහ නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීමට මහජන සහභාගීත්වය සහ ප්‍රජා දැනුවත්භාවය අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර මෙම වැඩසටහන නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත වීම ඊට මනා පිටිවහලක් සපයනවා.”

ඒකාබද්ධ නියෝජිත ආයතන කාර්ය සාධක බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අංශයේ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් (RAN) මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේ ය. “අඛණ්ඩ තෙවන වසරේදීත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ‘දිසි රැළ’ වැඩසටහන මගින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සාගරික ආරක්ෂාව සහ කලාපීය සහයෝගීතාව වෙනුවෙන් දක්වන වැදගත් දායකත්වය  හොඳින් ඉස්මතු වෙනවා. අඛණ්ඩ ධාරිතා සංවර්ධනය, මෙහෙයුම් සහාය සහ ප්‍රජා දායකත්වය තුළින් කලාපය පුරා සමුද්‍රීය  ආරක්ෂාව සහ සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා අපි එක්ව කටයුතු කරමින් සිටිනවා.”

පැය 24 පුරා ක්‍රියාත්මක 106 යන විශේෂ හදිසි ඇමතුම් අංකය ඔස්සේ සමුද්‍රීය  සීමාව තුළ සිදුවන ඕනෑම සැක කටයුතු ක්‍රියාවක් පිළිබඳව නිර්නාමිකව තොරතුරු ලබා දිය හැකි අතර ඒ සඳහා  මහජනතාවගේ සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

 ඉන්දියන් සාගර කලාපය පුරා සුරක්ෂිත, ස්ථාවර සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් සමන්විත සමුද්‍රීය පරිසරයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන සහයෝගීතාව

‘දිසි රැළ 2026’ වැඩසටහන තුළින් මැනවින් පිළිබිඹු වේ.