ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම සජීවීව විඳගැනීමේ අවස්ථාව හිමි වේ
ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවාව මෙන්ම මෙරට ප්‍රමුඛතම ඩිජිටල් විනෝදාස්වාද සේවාවක් වන SLT-MOBITEL PEOTV, ජාත්‍යන්තර පාපන්දු සංගමය [Fédération Internationale de Football Association (FIFA)] සමඟ ගිවිසුමකට එළඹෙමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ තරග ශ්‍රී ලංකාව තුළ විකාශය කිරීමේ නිල මාධ්‍ය විකාශන හිමිකම් ලබාගැනීමට පසුගියදා කටයුතු කළේය.
මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා විකාශන හිමිකම් සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙමඟින් 2026 FIFA ලෝක කුසලානයේ සෑම තරගයක්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විකාශය කිරීමේ නිල මාධ්‍ය අයිතිය SLT-MOBITEL PEOTV වෙත හිමි වී ඇත. ඒ අනුව PEOTV, PEO MOBILE, සහ එහි ඩිජිටල් සේවාවන් ඔස්සේ රට පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට, පාපන්දු ලොව දැවැන්තම ක්‍රීඩා සැණකෙළියේ උණුසුම එහි ආරම්භයේ සිට අවසානය දක්වා තරගයක් තරගයක් පාසා සජීවීව විඳගැනීමට හැකියාව ලැබී තිබේ.
ලොව ප්‍රධානතම ක්‍රීඩා ඉසව් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ඒම සඳහා SLT-MOBITEL PEOTV සෑම විටම උත්සාහ දරයි. පාපන්දු ලෝක කුසලානයේ නිල මාධ්‍ය විකාශන හිමිකම් ලබාගැනීම, එම උත්සාහය තුළ අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක. පසුගිය කාලය තුළ මෙබඳු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි රැසක්, ඉහළම ප්‍රමිතියකින් යුතුව දැකබලාගැනීමට මෙරට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට SLT-MOBITEL PEOTV කටයුතු කළේය. එහි තවත් පියවරක් වශයෙන් 2026 FIFA තරගාවලියේ සෑම තරගයක්ම True HD තාක්ෂණයෙන් යුතුව නැරඹීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ. PEOTV ඔස්සේ නිවසේ සිට මෙන්ම, PEO MOBILE සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ගමන් බිමන් අතරතුරදී වුවද මෙම තරග නැරඹීමට හැකි වීම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ අමන්දානන්දයට හේතු වනු නිසැකය. තරගාවලිය 2026 ජුනි 12 වන දින ආරම්භ වී ජූලි 20 වන දින අවසන් වීමට නියමිතව ඇත.
2026 තරගාවලිය පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම ලෝක කුසලාන තරගාවලිය බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහිදී රටවල් 48 ක කණ්ඩායම් කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලදී තරග 104 කට සහභාගී වීමට නියමිතය. ලොව පුරා බිලියන ගණනක ප්‍රේක්ෂක පිරිසක් නරඹන පාපන්දු ලෝක කුසලානය ලොව වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි අතර වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්නා තරගාවලියක් ලෙස සැලකේ.
SLT-MOBITEL PEOTV පිළිබඳව
ශ්‍රී ලංකාවේ පුරෝගාමී IPTV සේවාව වන SLT-MOBITEL PEOTV, අතිනවීන ඩිජිටල් රූපවාහිනී තාක්ෂණය ඔස්සේ විනෝදාස්වාද, ක්‍රීඩා, අධ්‍යාපනික, ජීවන රටා සහ අවශ්‍යතාව අනුව නැරඹිය හැකි වැඩසටහන් (On-demand content) ඇතුළුව විවිධ කාණ්ඩවලට අයත් වැඩසටහන් විකාශය කරයි. මෙරට ප්‍රමුඛතම IPTV සේවාව ලෙස PEOTV මේ වන විට විශිෂ්ට දර්ශන ප්‍රමිතිය, නව්‍ය විශේෂාංග සහ නැරඹීමේ පහසුව වැනි සාධක ඔස්සේ මෙරට ගෘහස්ථ විනෝදාස්වාද කලාව පෙරළියකට ලක්කරමින් සිටී.
FIFA පිළිබඳව
FIFA යනු පාපන්දු ක්‍රීඩාව සැබැවින්ම ගෝලීය ක්‍රීඩාවක් මෙන්ම ප්‍රේක්ෂකයන්ටත් මහජනතාවටත් සමීප ක්‍රීඩාවක් බවට පත්කරන අතරම එය සෑම මට්ටමකින්ම දියුණු කිරීම සඳහා කැප වී සිටින සංවිධානයකි. තරග, පුහුණු වැඩසටහන් සහ ක්‍රමෝපායික මුලපිරීම් ඔස්සේ එම සංවිධානය ලොව පුරා බිලියන ගණනක ක්‍රීඩා ලෝලී ප්‍රජාවක් වෙත පාපන්දු ක්‍රීඩාව සමීප කරවන අතරම, ක්‍රීඩාවේ බලය තුළින් රටවල් එකමුතු කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරයි. පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමුඛතම තරගාවලිය ලෙස සැලකෙන FIFA පාපන්දු ලෝක කුසලානය ලොව වැඩිම පිරිසක් නරඹන තරගාවලි අතරින් එකක් ලෙස සැලකේ. ලොව අතිදක්ෂ ජාතික පාපන්දු කණ්ඩායම් රැසක් එහිදී ක්‍රීඩාවේ විශිෂ්ටත්වය, කැපවීම සහ සංස්කෘතික සහජීවනය වැනි ගුණාංග පිළිබිඹු කරමින් FIFA ලෝක කුසලානය උදෙසා තරග වදිති.



