HSBC ශ්‍රී ලංකාවේ අවසන් දිනය අදයි. බැංකු ශාඛා, ATM සවස 3ට වැසේ. ෆේස්බුක් පිටුවත් අදින් පසු නැහැ
HSBC බැංකුව විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ පාරිභෝගික බැංකු කටයුතු අද (30) දිනෙන් පසු අවසන් කෙරෙනු ඇත. ඒ නේෂන් ට්‍රස්ට් බැංකුව විසින් HSBC බැංකුවේ මෙරට පාරිභෝගික බැංකු කටයුතු අංශය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟම, HSBC මෙරට පාරිභෝගික බැංකු කටයුතු නිල වශයෙන් අවසන් කිරීම අද (30) දිනයේ දී සිදුකෙරෙන බැවිනි.
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබුනේ 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී යි. 2025 සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය මේ වන විට සම්පූර්ණ වී ඇත.
ඒ අනුව 2026 මැයි 1 වන දා සිට HSBC හි ප්රමුඛපෙළේ බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෞද්ගලික ණය ඇතුළුව දළ වශයෙන් ගනුදෙනුකරුවන් 200,000කගේ ගිණුම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට නිල වශයෙන් හිමි වනු ඇති බව HSBC බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
HSBC බැංකුව සතු ATM යන්ත්‍ර ඇතුළුව HSBC ශාඛා සහ අධිවේගී බැංකු මධ්‍යස්ථාන අද (30) දින සවස 3 ට සුපුරුදු පරිදි වසා දැමීසට කටයුතු කරන බවත්, අද පස්වරු 7 දක්වා HSBC ගිණුම් සහ ක්‍රෙඩ්ට් සහ ඩෙබිට් කාඩ්පත්, අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ කටයුතු භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර ඉන්පසු එම සියළුම අන්තර්ජාල බැංකු කටයුතු ද අක්‍රීය වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
මේ අතර HSBC ශ්‍රී ලංකා නිල ෆේස්බුක් පිටුව ද අදින් පසු වැසෙනු ඇත.

මේ හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට, තවත් අමතර ප්රමුඛ පෙළේ පාරිභෝගික බැංකු ගනුදෙනුකරුවන් අති විශාල සංඛ්‍යාවක් වෙත සිය සේවය ලබාදීමට හැකියාව ලැබෙන අතර, බැංකුවේ ආයතනික ඉලක්ක වෙත වඩාත් වේගවත්ව ළඟාවීමේ අවස්ථාව උදාවී ඇත.
උපුටා ගැනීම : අද දෙරණ




