𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ වී ගොවීන්ට FAO සංවිධානයෙන් පොහොර සහනාධාර

දිට්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා පොහොර සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉදිරි යල කන්නය වෙනුවෙන් නියමිත වේලාවට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙහි අරමුණයි.

ඇමෙරිකානු ඩොලර් 300,000ක වටිනාකමකින් යුත් වවුචර ක්‍රමයක් හරහා මෙම සහාය ලබා දෙනු ලැබේ. 2025/26 මහ කන්නයේදී සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානියට පත් වීම නිසා පීඩාවට පත් කුඩා පරිමාණ වී ගොවීන් 3,489 දෙනෙකුට මෙලෙස ඉලක්කගත පොහොර සහනාධාර හිමි වේ. ඊට කාන්තා ගොවීන් 1,686 දෙනෙකු ද ඇතුළත් ය.

සුදුසුකම් ලත් ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා විද්‍යුත් වවුචර (e-vouchers) ලබා දෙනු ඇත. අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 75ක (දල වශයෙන් රු. 23,625) වටිනාකමින් යුත් වවුචර හිමි වේ. එසේම, අක්කර 0.5කට වඩා වැඩි සහ අක්කර 1ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 90ක (දල වශයෙන් රු. 28,350) වවුචර ලබා දෙනු ඇත. මෙම වවුචර භාවිත කර යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් (TSP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර වර්ග ලබා ගත හැකි ය.

දිට්වා සුළි කුණාටුවේ බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ගොවීන්ට සහාය වීම සඳහා FAO සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ශක්තිමත් සහයෝගිතාව මෙම වැඩසටහන හරහා පෙන්නුම් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළේය. “යල කන්නයට පෙර අත්‍යවශ්‍ය පොහොර සඳහා කාලෝචිත ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම හරහා පීඩාවට පත් ගොවීන්ට ඔවුන්ගේ වී නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය හිමි වේ. එමෙන්ම, අනුරාධපුරයේ කුඩා පරිමාණ ගොවි ප්‍රජාවන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ද මෙය මහෝපකාරී වනු ඇත.”

අවදානමට ලක් වූ ගොවීන් සඳහා කාලෝචිත කෘෂිකාර්මික ප්‍රතිසාධන සහායේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙම පොහොර වවුචර වැඩසටහන හරහා ගොවීන්ට ඉක්මනින් තම වගා කටයුතු වෙත යළි යොමු වීමට සහාය වීම අපගේ අරමුණයි. ඊට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාව ශක්තිමත් කිරීමට සහ දේශීය ආහාර සුරක්ෂිතතාවට දායක වීමට ද FAO සංවිධානය අපේක්ෂා කරයි. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ FAO සංවිධානය විසින් මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව ද මෙය වේ. ගොවීන්ට කාලෝචිත සහ නම්‍යශීලී සහායක් ලැබෙන බව සහතික කිරීම සඳහා අපගේ හදිසි ප්‍රතිචාර මෙවලම් පුළුල් කිරීමක් ද මින් සලකුණු කෙරේ.”

පොහොර සහනාධාරයට සමගාමීව, සෑම ප්‍රතිලාභියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද නොමිලේ හිමි වේ. වී නිෂ්පාදනයේ ප්‍රධාන අදියරයන් පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශ සැපයීම මෙහි අරමුණයි. කෘෂිකාර්මික යෙදවුම් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමට මෙන්ම ඵලදායීතාව සහ තිරසර බව වැඩිදියුණු කිරීමට ගොවීන්ට සහාය වීම සඳහා මෙම දැනුම් සම්පත නිර්මාණය කර ඇත.

මේ අනුව, කාලෝචිත යෙදවුම් සහාය, ප්‍රායෝගික තාක්ෂණික මාර්ගෝපදේශ සමඟ ඒකාබද්ධ කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් තුළ සුළි කුණාටුවේ බලපෑම්වලින් ගොඩනැඟීමට සහ වී නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට පීඩාවට පත් ගොවීන්ට සහාය වීම FAOසංවිධානයේ ඉලක්කයයි.

උපුටා ගැනීම : අද දෙරණ