𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

2025 පළමු කාර්තුවේ සුරාබදු ආදායමේ දැවැන්ත වර්ධනයක්

මත්පැන් මත අයකරන සුරාබදු ආදායම මේ වසරේ පළමු කාර්තුවේදීම සැලකියයුතු ලෙස ඉහළට

2025 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 61 ක දැවැන්ත සුරා බදු ආදායමක් වාර්තා කිරීමට හැකි වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදයකුමාර පෙරේරා මහතා සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් ලබාගැනීමේ අරමුණින් දීපව්‍යාප්තව නව සැලැස්මක් සකස් කර තිබෙන අතර ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා ඉලක්කය රුපියල් බිලියන 42ක් වූ අතර එම අගය අභිබවා යමින් රුපියල් බිලියන 61 ක ආදායමක් ලබා ගැනීමට හැකිවී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වසරේ සුරාබදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් වෙත අවධානය යොමු කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඉන් ප්‍රධාන කරුණ වන්නේ නීති විරෝධී මත්පැන් සඳහා වන වැටලීම් වැඩි කිරීමයි.

මෙරට නීති විරෝධී මත්පැන් ජාවාරම් ක්‍රියාත්මක වීම කලක් තිස්සේ පැවැති ගැටලුවක් වූ බැවින් ඊට නිසි පිළියම් යෙදීම මෙවර වැඩසටහනේදී වඩාත් අවධානයට ලක් වූ කරුණක් විය.

මීට අමතරව බදු නොගෙවා වෙළඳපොළට මත්පැන් පැමිණීම ද වැලැක්වීම සඳහා දැනට පවතින ආරක්ෂණ ක්‍රියාවලි තවදුරටත් දැඩි කිරීමට අවධානය යොමුකර ඇත.

නිෂ්පාදන දිනය, සහ හඳුනාගැනීමේ සංකේත හඳුන්වාදීම ක්‍රියාත්මක කර ඇත්තේ ඒ යටතේයි.

කලක් තිස්සේ මෙරට බදු සංශෝධනය වී නොතිබූ බැවින් එලෙස එකතු නොවූ බදු නැවත සලකා බැලීමත් ඒ හරහා අමතර බදු ආදායමක් ළඟාකර ගැනීමත් මෙවර සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති පියවරකි.

සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ මෙම කටයුතු වෙනුවෙන් නිලධාරින් දිරිමත් කිරීම සහ නව දැනුම මෙන්ම තාක්ෂණික පහසුකම් ද ලබා දීමේ වැදගත්කම හඳුනාගත් බවයි.

ඒ අනුව මෙවර සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික සැලැස්ම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහාද වැඩි අවධානයක් යොමුකර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.

වඩාත් කාර්‍යක්ෂම සේවාවක් ලබාගැනීමටත්, දූෂණ අවම කිරිමටත් හැකිවන පරිදි රජයේ තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල්කරණ වැඩපිළිවෙලට සමගාමීව RAMIS පද්ධතිය හඳුන්වා දීමද මෙම සාර්ථකත්වයේ පදනමක් වූ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙම සාර්ථක ප්‍රතිඵල ලබාගත් විධිමත් වැඩපිළිවෙල වසර පුරා ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම අඩාල කිරීමටද විවිධ සංවිධානාත්මක කණ්ඩායම් විවිධාකාරයෙන් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් එම බාධා කිරීම් සඳහා දේශපාලන අධිකාරියෙන් කිසිදු සහයක් හිමි නොවන බැවින් මෙම වැඩපිළිවෙළ තුළ වසරේ ඉලක්ක සපුරා ගතහැකි බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැඩිව විශ්වාසය පළකරයි.