පාම් ඔයිල් තහනමෙන් වාසි ලබන ශ්‍රී ලංකාවේ ලොකුම පාම් ඔයිල් වගාකරුවන් තිදෙනා
ශ්‍රී ලංකාව තුළ පාම් ඔයිල් වගාව තහනම් කිරීමට රජය පසුගිය කාලයේ තීරණය කිරීම හේතුවෙන්, පවතින තත්ත්වයෙන් වාසි ලැබීමට මෙරට ලොකුම පාම් ඔයිල් වගාකරුවන් තිදෙනා වන වටවල, නමුණුකුළ හා ඇල්පිටිය යන වැවිලි සමාගම් සමත්ව තිබේ. පාම් ඔයිල් වගාව රට තුළ තහනම් කිරීමත් සමග, නවතම වැවිලි සමාගම් ඊට ඇතුළත් වීමේ මෙන්ම, කුඩා වගාකරුවන්ට තම වගාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථාද එමගින් ඇහිරිණි. එහෙත්, දැනට පවතින වගාවන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට එම තහනම බාධාවක් නොවේ. මෙරට ප්රමුඛ පෙළේ පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාකරන ඉහත කී වැවිලි සමාගම් ත්‍රිත්වය විශාලතම වාසි ලබන බවයි.
“පාම් ඔයිල් තහනම පැණවුණේ නව වගාවන් සඳහා පමණක් බැවින්, පවතින වගාවන් පෙර පරිදි පවත්වාගෙන යාමට හැකිය. මෙම තහනම මගින් නවතම සමාගම්වලට පාම් ඔයිල් වගාව සඳහා යොමු වී ඉහළ ඵලදාවක් ලබා ගැනීමේ අවස්ථාවන් ඇහිරුණු අතර, මේ වන විටත් පවතින සමාගම්වලට වෙළෙඳ පොළ ආධිපත්‍යය දිනා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.” කොළඹ පිහිටි ෆස්ට් කැපිටල් රීසර්ච් ආයතනය සඳහන් කරයි.
එමෙන්ම, නව පාම් ඔයිල් වගාවන් සඳහා පනවා ඇති තහනම හේතුවෙන්, දැනටමත් පාම් ඔයිල් වගා කරන වටවල, නමුණුකුල හා ඇල්පිටිය යන වැවිලි සමාගම් ත්‍රිත්වය 2022 වසර වන විට, ඔවුන්ගේ පාම් ඔයිල් අස්වැන්නෙහි ඉහළම ඵලදාව ලබා ගැනීමට හැකිවීමෙන් සුවිශේෂ ප්රතිලාභ ළඟා කර ගන්නා බව එම වාර්තාව අවධාරණය කරයි.
“ඔයිල් පාම් වගාවන් අලුතෙන් ආරම්භ කිරීම තහනම් කිරීම නිසා, විශේෂයෙන් පාම් ඔයිල් වගා කරන වටවල, නමුණුකුල හා ඇල්පිටිය යන වැවිලි සමාගම්වලට, දීර්ඝ කාලයක් පුරා ඔවුන්ගේ ඉහළ අස්වැන්නෙහි ප්රතිලාභ විඳීමට හැකියි.” එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
මේ වන විට, හොඳින් මේරූ පාම් ඔයිල් වගාවන් සහිත හෙක්ටයාර 2890 ක බිම් ප්‍රමාණයක් හා නොමේරූ පාම් ඔයිල් වගාවන් සහිත හෙක්ටයාර් 567 ක් සතු වටවල වැවිලි සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පාම් ඔයිල් වගාකරුවා වේ. ඊළඟට දෙවැනි හා තෙවැනි විශාලතම වගාකරුවන් ලෙසින් සඳහන් වන්නේ, නමුණුකුල හා ඇල්පිටිය වැවිලි සමාගම්ය. දැනට ශ්‍රී ලංකාව තුළ පාම් ඔයිල් වගාව අතින් හතරවැනි ස්ථානයෙහි පසු වන්නේ, අගලවත්ත වැවිලි සමාගමයි. මෙම සමාගම් හතර සතුව දේශීය පාම් ඔයිල් වගාවන්ගෙන් 75% ක ප්‍රතිශතයක් පැවතීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඉකුත් කාලය තුළ පාම් ඔයිල් වගාවට එරෙහිව රට තුළ සුවිශාල විරෝධයක් මතු ව තිබිණි. ඇතැම් සංවිධාන විසින් සමාජය තුළ මතු කරනු ලැබූ එම දැවැන්ත විරෝධය හේතුවෙන්, ඒ වන විටත් පාම් ඔයිල් වගාව සඳහා යොමුව සිටි කොටගල, හොරණ, බොගවන්වන්තලාව හා කෑගල්ල යන වැවිලි සමාගම්වලට ඉකුත් දෙවසර පුරාම ඔවුන්ගේ වගාවන් ව්‍යාප්ත කිරීමට නොහැකි ව තිබුණි. රට තුළ අලුතෙන් පාම් ඔයිල් වගාවන් සඳහා තහංචි පැනවෙන්නේද එවැනි තත්ත්වයක් තිබියදීය.
අනෙකුත් දේශීය වගාවන් හා සන්සන්දනය කරද්දී පාම් ඔයිල් සැලකෙන්නේ, ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි වගාවක් ලෙසිනි. ඉහත වාර්තාවට අනුව, පිළිවෙළින් පොල්, රබර් සහ තේ හෙක්ටයාරයක් සඳහා රු. 245000 ක්,් රු.50 000 සහ රු.45 000 වශයෙන් පිරිවැයක් හිමි වද්දී, පාම් ඔයිල් හෙක්ටයාරයක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් 514, 000 ක පිරිවැයක් හිමි කර ගත හැකි වීම නිසාම එය ඉහළ වටිනාකමක් ඇති වගාවක් ලෙසින් සැලකේ. එමෙන්ම, පොල්, රබර් සහ තේ සඳහා වන නිෂ්පාදන වියදම ඉතා අධික වන අතර, වෙළෙඳ පොළ මිලද ඉතාමත් අස්ථාවර තත්ත්වයේ පවතී.
මීට සපුරාම පටහැනි ලෙසින්, පාම් ඔයිල් සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල පවතින කිසිදා සපුරාලිය නොහැකි ඉල්ලුම හේතුවෙන්, එහි මිල ශක්තිමත් ලෙසින් ඉහළ යනු ඇතැයි එම පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි. ඒ, මේ වන විට ලොව පුරා ආහාර, ටොෆී වර්ග, අයිස් ක්‍රීම්, විවිධ බීම වර්ග සඳහා මෙන්ම, විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන හා පිරිසිදු කාරක නිෂ්පාදන සඳහාද යොදා ගන්නා මූලික ද්‍රව්‍යයක් ලෙසින් පාම් ඔයිල් බහුලව භාවිතා වන බැවිනි.
එමෙන්ම, දේශීය පාම් ඔයිල් වගාකරුවන් හට ස්වකීය අස්වැන්නෙන් සුවිශේෂී ප්‍රතිඵල භුක්ති විඳිය හැකි පරිදි, ඉකුත් වසරේ ඇ. ඩො. 602 ක් ව පැවති පාම් ඔයිල් මිල, මෙම වසරේ ඇ.ඩො. 700 දක්වා වර්ධනය වනු ඇතැයිද ගණන් බලා තිබේ.
ඒ හැරුණු විට, ආනයනික පාම් ඔයිල් සඳහා පනවනු ලැබූ බදු හේතුවෙන්ද, දේශීය පාම් ඔයිල් වගාකරුවෝ සුවිශාල ප්‍රතිලාභයක් අත්විඳිති.