𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දරිද්‍රතා රේඛා සටහනේ වැඩිවීමක්

2025 ජනවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි.

අදාළ සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල 2025 ජනවාරි මාසයේ දී රු. 16,334 ක් ලෙසින් දක්වා ඇත. එය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී තිබූ අගය වන රු. 16,191 ට වඩා 0.88%ක වැඩිවීමකි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන පරිදි 2025 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

දරිද්‍රතා රේඛා සටහන දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රකාශයට පත්කෙරෙන අතර එහිදී ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. ඊට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන  පුද්ගලයෙකුට රු. 17,617 ක් සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වනු ඇත. අවම අගය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 15,618 කි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි මාසයට අදාළව ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහන පහතින් දැක්වේ.