𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

oDoc – HUTCH සුව සරණ වෙතින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා

සෞඛ්‍ය සේවා අංශයට සහයෝගය දැක්වීමේ පුරෝගාමී මුලපිරීමක් ලෙස, හච් සහ ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින් සේවා සපයන oDoc එක්වී oDoc-HUTCH  සුව සරණ වැඩසටහන දැන් දියත් කර ඇත. සංචරණ සීමා පවත්නා කාලසීමාව තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් සේවා පහසුකම් මෙමඟින් ලබාගත හැක. මෙම සමාජ සත්කාරය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම සේවා ජාලයක් ඔස්සේ 078 8777222 අංකය අමතා තම නිවෙස්වල සිටම ඉතා ආරක්ෂිතව නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකිය.

oDoc-HUTCH සුව සරණ සේවාව මඟින් පාරිභෝගිකයින්ට තම නිවසේ සිටම දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු හමුවීමට කාලයක් වෙන්කරවා ගත හැකි අතර වෛද්‍ය උපදෙස්‌ වලට අමතරව සහතික කළ ඩිජිටල් බෙහෙත් වට්ටෝරුවක්ද මේ හරහා ලබාගත හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා සඳහන් කළේ මෙවැන්නකි.” විශේෂයෙන් සෞඛ්‍ය සේවා අංශයට වැඩි සහයෝගයක් අවශ්‍ය වන මෙවැනි තත්වයක් තුළ මෙම ටෙලිමෙඩිසින් සේවාවේ වටිනාකම ඉතා ඉහළයි. පවතින තත්වය හමුවේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට තම නිවසේම රැඳී සිට ඉතා ආරක්ෂිතව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන්  වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් වට්ටෝරු ලබාගැනීමට ලැබීම ඉතා වටිනා සේවාවක්. ODoc සමඟ එක්ව මෙම කාර්යයේ පෙරමුණ ගැනීමට ලැබීම අපිට ආඩම්බරයක් වගේම මෙම වසංගත කාලය තුළ සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ටෙලිමෙඩිසින් ප්‍රවේශය ලබාදීමට හැකිවීම ගැන අපි සතුටුවෙනවා.”

හච් සහ  oDoc අත්වැල් බැඳ ගනිමින් හච් පාරිභෝගිකයින් වෙනුවෙන්ම හඳුන්වා දුන් මෙම ටෙලිමෙඩිසින් සේවාව, එක් සේවා වාරයක් සඳහා රු. 199/= ක් හා බදු ඇතුළත් ඉතාමත් පහසු හඳුන්වාදීමේ මිලකට ලබාදෙන ලදී. එලෙස හඳුන්වාදුන් මෙම අනඟි සේවාව පවත්නා වසංගත තත්වය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ලබා දීමට හච් සහ  oDoc හවුල්කරිත්වය සමත්වී ඇත.

මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින්, ODoc හි ප්‍රධාන විධායක නිලධාරි හේෂාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ” මෙවැනි හදිසි අවස්ථාවකදී අපේ රටට උදව් කිරීමට අපි කැපවී සිටිනවා. කෝවිඩ් -19 අර්බුදය හමුවේ රෝහල්වල රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ටෙලිමෙඩිසින් කාලීන අවශ්‍යතාවයක් බවට පත්වී හමාරයි. හච් සමඟ එක්වීමෙන් අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමෙන් සෞඛ්‍ය සේවා සපයන්නන්ට විශාල සහනයක් ලබා දිය හැකි බව අපට විශ්වාසයි. අපගේ හවුල්කරු GPs මෙම තත්වයේ බරපතලකම හඳුනාගෙන පැය 24 පුරාම සේවය කිරීමට සූදානමින් සිටින අතර නිවසේ ආරක්ෂිතව සිටිමින් නොමිලේ ලබාදෙන මෙම සේවාව ලබා ගන්නා ලෙස අපි සැමට ආරාධනා කරනවා.” යනුවෙනි.