𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර් සහ වැසි වනාන්තර සුරකින්නෝ අතර හවුල්කාරීත්වයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. 

මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පසුගියදා හේමාස් කන්සියුමර් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා හේමාස් කන්සියුමර් ව්‍යාපාර අංශයේ අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, අලෙවි කළමනාකාරිනී  අස්මාරා පෙරේරා, සන්නාම කළමණාකාරිනී ෂර්ලින් ගුණනයාගම්, වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක ජයන්ත විජේසිංහ, විධායක කමිටු සාමාජිකා ලක්මාලි ජයරත්න යන මහත්ම මහත්මීන් එක්විය.  

හේමාස් මෙම ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දීමට ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තිරසාර වන කළමනාකරණ ක්‍රමවේදයන් සහ වනාන්තර සංරක්ෂණය සඳහා වන සමාජ ප්‍රයත්නයන් සඳහා සිය දායකත්වය ලබා දීමේ අභිප්‍රායයි. මෙම ව්‍යාපෘතිය පුරාවටම හේමාස් කන්සියුමර් විසින් ඒ සඳහා අවශ්‍ය සිය මාර්ගෝපදේශනය සහ විවිධ දිරිගැන්වීම් ලබා දෙන අතර,  ව්‍යාපෘතිය අඛණ්ඩ අධීක්ෂණයටද ලක් කරයි.  

මෙම ව්‍යාපෘතියේ දිගුකාලින  ප්‍රධාන මෙහෙයුම්කරුවන් ලෙස හේමාස් කන්සියුමර්හි  ප්‍රමුඛ සන්නාම ද්විත්වයක් වන බේබි ෂෙරමි සහ කුමාරිකා ක්‍රියා කරන අතර,  අනාගත පරම්පරාවන් උදෙසා වන සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කිරීමට ඔවුන් කැපවී ක්‍රියා කරයි.  හේමාස් කන්සියුමර් විසින් පෙර අවස්ථාවන් රැසකදීද මෙවන් වන ව්‍යාපෘති රැසක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, ඒ අතර වනාන්තර විනාශය නිසා ඇති වූ  ඍණාත්මක බලපෑම් වලට එරෙහිව සටන් කිරීම සඳහා සිංහරාජයට ආසන්නව කත්ලාන ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසහනක් දියත් කිරීම විශේෂ වේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වූ හේමාස් කන්සියුමර්හි අලෙවි අධ්‍යක්ෂිකා ෆියෝනා ජූරියන්ස්  මුණසිංහ මහත්මිය මෙලෙස පවසා සිටියි. “වැසි වනාන්තර සුරකින්නගේ සංගමය සමඟ එක්ව, හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු සඵල කර ගැනීමට දායකත්වය සැපයීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා.  හේමාස්  සමාගම නිරතුරුවම ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදා කිරීම සඳහා වූ ප්‍රජා ආධාරක වැඩසටහන් සඳහා පුරෝගාමී වී  කටයුතු කරන ආයතනයක්. මෙවැනි සුවිශේෂී හවුල්කාරීත්ව වැඩසටහන් හරහා සියලුම ශ්‍රී ලාංකේය ප්‍රජාවන් මෙවැනි සමාජ වගකීම් කෙරෙහි නැඹුරු කිරීම අපගේ ප්‍රධාන අරමුණක්”.

ප්‍රජාව වෙත සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කරලීම සඳහා හේමාස් ආයතනය පුරෝගාමීව ක්‍රියා කරන අතර, මෙහිදී ප්‍රජා ආධාරක වැඩසහටහන් කෙරෙහි සමාගම දැඩි අවධානයක් යොමු කරයි.  මෙවැනි ව්‍යාපෘති හරහා  මහජනතාව, පාර්ශවකරුවන් ඇතුළු වෙනත් බලධාරීන් හට මෙවැනි මුලපිරීම් සඳහා සක්‍රීයව දායකත්වය සැපයීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම හේමාස් හි අරමුණයි. 

ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන් යනු, ශ්‍රී ලංකාවේ වන විමර්ශන, වන සංරක්ෂණ දැනුවත් කිරීමේ ව්‍යාපාර, වන සංරක්ෂණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සහ  වනාන්තර ආරක්ෂා කිරීම සඳහා සඳහා කැප වෙමින් සිටින ස්වේච්ඡා සේවකයන් සහ අනුග්‍රාහකයන් පිරිසකි. ලාභ නොලබන පාරිසරික සංවිධානයක් වන මොවුන්  සිංහරාජ සහ කන්නෙලිය වැසි වනාන්තර ඇතුළු පරිසර පද්ධති කිහිපයක් ආරක්ෂා කිරීමට ක්‍රියාකාරීව නිරත වී ඇත. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු සහ ප්‍රධාන සංවිධායක ජයන්ත විජේසිංහ මහතා මෙලෙස පවසා සිටියි.  “ජෛව විවිධත්වය අහිමි වීම වර්තමානයේ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර, මෙවැනි දිගුකාලීන රුක් රෝපණ සහ වන ආරක්ෂණ  ව්‍යාපෘති හරහා එහි බලපෑම විශාල වශයෙන් අවම කර ගනිමින්, ඉදිරි පරම්පරාවන්ට එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව හිමි වේ යැයි  අප විශ්වාස කරනවා.”

වනාන්නර ප‍්‍රතිරෝපණ ව්‍යාපෘතීන් පෘථිවියට බෙහෙවින් ප්‍රයෝජනවත් බව සනාථ වී ඇති අතර,  රුක් රෝපණ සිදු කරන ලද ප්‍රදේශයන් සතුන්ට මෙන්ම ශාක සඳහා නිවහනක් වන්නේ ජෛව විවිධත්වය තව දුරටත් ශක්තිමත් කරමින්. ගස් ඉහළට වැඩෙන විට අප හුස්ම ගන්නා වාතය පිරිසිදු වන අතරම, උෂ්ණත්වය පාලනයට මෙම පරිසර පද්ධතීන් උපකාරී වනවා.  ගංවතුර සහ පාංශු ඛාදනය වැනි ස්වභාවික විපත් හමුවේ මිනිසා ආරක්ෂා කිරීමටද වනසංස්කරණය ඉවහල් වන අතර,  අහිතකර ගෝලීය උෂ්ණත්වය පාලනයට මෙන්ම, දේශගුණික විපර්යාස රැසකින් මිනිසා ඇතුළු ජෛව පද්ධතීන් ආරක්ෂා කිරීමට වනසංස්කරණය හේතුවේ.