𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. “Digital Campaigns Excellence 2019” සඳහා ලෝකඩ පදක්කම දිනාගත් හච්, සම්මාන උළලේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්  හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. ” SLIM DIGIS 2.0 සම්මාන උළෙලේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා වීමට ලැබීම අපට ගෞරවයක් වගේම, ඉතාමත් ආඩම්බරයක්. මෙය ශ්‍රී ලංකාව තුළ අපගේ ඩිජිටල් ව්‍යාපාරවල ඉහළ ගුණාත්මකභාවය නිර්වචනය කළ ජයග්‍රහණයක්. ඒ වගේම අපගේ සමස්ත කණ්ඩායම සහ ඩිජිටල් නියෝජිතායතනය වන  Digibrush එක්ව කළ කැපවීම සහ උන්නදුව නිසාම අපට මෙම සම්මානය  දිනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් මම ඔවුන්ට සුබ පතනවා.”

හච් සිය පාරිභෝගික සන්නිවේදනයේ නවෝත්පාදනයන්ට යොමු කරන අවධානය මෙමගින් පෙන්නුම් කරන අතර මෙම ජයග්‍රාහී ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය දිවයින පුරා සිදුකළ 4G ආවරණ ව්‍යාප්තියට සමගාමීව සිදු කෙරිණි. හච් සහ එටිසලාට් ඒකාබද්ධ කිරීමෙන් පසුව, විශාල පාරිභෝගික පදනමකට හිමිකම් කියන හච්, සිය පණිවිඩ සියලු පාරිභෝගිකයින් වෙත ළඟා කිරීමට මෙම ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන් පුළුල් ලෙස භාවිතාකළ අතර නවතම ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රියාත්මක කරමින් සිය පාරිභෝගිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

Digibrush හි සම නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී හිෂාම් සුල්ෆිකර් මහතා පැවසුවේ “ඩිජිටල්-ෆස්ට් යැයි සිතන සේවාදායකයින් සමඟ වැඩ කිරීම සෑමවිටම සතුටට කරුණක් බවයි. මෙම සම්මානය අපගේ ඩිජිටල් නාලිකා හරහා ඵලදායි ඩිජිටල් සන්නිවේදනයන් තුළින් ධනාත්මක ව්‍යාපාර බලපෑම් ඇතිකිරීමට හච් හා එක්ව දියත් කළ උත්සාහයේ ප්‍රතිඵලයකි.”

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වනු  ලබන SLIM DIGIS 2.0, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉමහත් පැසසුමට ලක්වන සම්මාන උළෙලකි. එමගින් ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදනයන් හඳුනා ගනිමින් ඒවා සවිබල ගන්වයි. බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අන්තර්ජාල, ආගන්තුක සත්කාර, සංචාරක වැනි ක්ෂේත්‍ර ගණනාවක හොඳම ඩිජිටල් ව්‍යාපාරයන් SLIM DIGIS විසින් වාර්ෂිකව අගයයි.

ඡායාරූප විස්තරය:

(වමේ විට දකුණට) හච්හි ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන සහකාර කළමනාකාරිනි නිශාදි හේරත්, හච්හි ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ සන්නිවේදන  කළමනාකරු රජීව් ඩේවිඩ්, හච් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී, රම්සීනා මෝර්සෙත් ලායි, හච් හි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා, Digibrush හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී හිෂාම් සුල්ෆිකර්, Digibrush හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ජිෆ්රි ජමීල්,  Digibrush හි ඩිජිටල් මාධ්‍ය විශේෂඥ අඛිල් නිසාම්