𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

කැළණිය විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්ව ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳව මාර්ගගත ව්‍යාපෘතියක් නොමිලේ දියත් කෙරේ

කැළණිය විශ්වවිද්‍යාලය (UoK) සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ඔක්තෝම්බර් 4 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳ සහතික මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරීමයි.

මේ ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ ව්‍යාපාර සම්පත් කළමනාකරණය (ERP) පිළිබඳ අවශ්‍ය දැනුම නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව සැළසීමයි. මෙය SAP දැනුම සහ කුසළතාවය විශේෂීකරණය වන පරිදි නිර්මාණය වී ඇති අතර ව්‍යාපාර සම්පත් කළමනාකරණ කේෂ්ත්‍රයේ පුහුණුවන්නන්ගේ සිට සහය උපදේශකවරුන් දක්වා භූමිකා හතක රැකියා අවස්ථා නිපදවයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ (UoK) මෙම නව ව්‍යාපෘතිය නිර්මාණය කිරීම සඳහා ඩී.පී පදනම (DP Foundation) එහි ඩී පී එඩියුකේෂන් (DP Education) හස්තය හරහා දායක වන්නේ ව්‍යාපෘතියේ අන්තර්ගතය නිර්මාණය කිරීමට අවශ්‍ය අරමුදල් සහ මානව සම්පත් ලබාදීම මඟිනි.

මෙය ඩී පී එඩියුකේෂන් පදනමේ මාර්ගගත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සිදු කෙරෙන තෙවැනි ව්‍යාපෘතියයි. මින් පෙර මෙවැනි ව්‍යාපෘති ද්විත්වයක් මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සිදු වූ අතර පළමු ව්‍යාපෘතිය වූයේ Trainee -Full Stack Developer මාර්ගගත වැඩසටහනයි. අද වන විට 135,000 කට අධික සිසුන් පිරිසක් ඒ සමඟ සම්බන්ධ වී ඇත. Trainee-Full Stack Developer පාඨමාලාවට පිවිසීමට https://open.uom.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න. ඊට අදාළ දෙවැනි ව්‍යාපෘතිය වූයේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරිමයි.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ එම මැතිණිය ප්‍රිසිලා පෙරේරාගේ නොමසුරු පරිත්‍යාගයක් වන ඩී.පී. පදනම (DP Foundation) ශ්‍රී ලංකාවේ දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම මාර්ගගත නොමිලේ ඉගෙනුම් වේදිකාව වන ඩී.පී එඩියුකේෂන් (DP Education) නිර්මාණය කර ඇත.

ඩී.පී එඩියුකේෂන් පිළිබඳව වැඩි විස්තර සඳහා  https://www.dpeducation.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න.